දන්න කියන දෙයක් හැමෝටම දැනගන්න කියලා ලියන මේ බ්ලොග් පිටුවට ඔයාලව ආදරයෙන් පිළි ගන්නවා. ඉගෙන ගන්න පුළුවන් දේවල් කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ආපු වෙලාවක කොමෙන්ට් එකක් දාන්නත්, පාඨකයෙක් විදියට ෆොලෝ කරන්නත් පුළුවන් නම් වටිනවා.

Monday, October 1, 2012

iPhone 5 අද දුන් දේ Android අපි කලින්ම ලදිමු

කාගේත් විශාල බලාපොරොත්තු මධ්‍යයේ පසුගියදා Apple ආයතනය තමන්ගේ iPhone ජංගම දුරකතන පෙළේ 5 වන ජංගම දුරකතනය එළි දැක්වූවා. සියළු දෙනා බලාපොරොත්තු වූ ආකාරෙයෙන් එම දුරකතනය, තමන්ගේ අවශ්‍යතා මැනවින් ඉෂ්ට කර දෙන, අති විශාල වෙනස්කම් ප්‍රමාණයකින් සහ සිත් ඇද ගන්නා සුළු අංගෝපාංග ඇතුලත්ව පාරිභෝගිකයන් වෙනුවෙන් එළි දැක්වේ යැයි කියා සිතුවත් සියල්ලන්ගේම බලාපොරොත්තු බිඳ දමමින් iPhone 4S දුරකතනයේම නව්‍යකරණය වූ මාදිලියක් වශයෙන් මෙම iPhone 5 දුරකතනය දොරට වැඩියා. Android ලෝලීන් වශයෙන් මේ නව දුරකතනයේ ඇති විශේෂ වෙනසක් නොදකින්නේ එහි ඇති බොහෝ අංගයන් මේ වන විටත්, සහ මීට බොහෝ කලකට ඉහතදීත් Android අඩංගු නවතම මාදිලියේ ජංගම දුරකතන කිහිපයක්ම ලොවට දායාද කොට තිබීමයි. මෙනිසා iPhone 5 හි ඇති විශේෂතම ඔවුන් පවසන අංගෝපාංගත්, ඒවා දැනටමත් ඇති Android ජංගම දුරකතන පිළිබඳවත් ටිකක් දැන ගැනීම වැදගත් වේවි.

Apple සමාගම පසුගිය සැප්තැම්බර් මාසයේ එළි දැක්වූ මේ නවතම iPhone මාදිලියේ අඩංගු පැහැදිලිම වෙනස නම් අඟල් 4ක විශාලත්වයක් සහිත, පික්සල් ධාරිතාව අඟලකට පික්සල් 326ක් වන, පළල අතට පික්සල් 640ක් සහ දිග අතට පික්සල් 1136ක් වන ලෙසින් සැදි තිරය. පික්සල් ධාරිතාව හොඳ මට්ටමක පැවතියත් අඟල් 4 ඉක්මවා ඇති Android දුරකතන නම් පසුගිය වසරේදීත් වෙළඳ පොළට පැමිණියා. උදාහරණ ලෙසින් Galaxy Nexus දුරකතනය, මේ වසරේ නිකුත් වූ HTC One X සහ Galaxy S3 දුරකතන හැඳින්විය හැකියි. මේ සඳහන් කළ Android දුරකතන තුනෙහිම HD ප්‍රමාණයේ තිර පැවතීම හේතුවෙන් iPhone 5 හි HD ප්‍රමාණයන්ගෙන් අඩු වශයෙන් 720p ආසන්නයට වත් නොමැති තිරයක් අඩංගු වීම iPhone 5 හි තිරයේ විශේෂත්වය පිළිබඳ පුදුමයක් ඇති නොකරන්නක්.

මීළඟ කාරණාව නම් iPhone 5 හි කැමරාවේ Panorama දර්ශන ලබා ගැනීමේ හැකියාව. අපි දන්නා අයුරෙන් නම් මෙය පසුගිය වසරේදී Android 4.0 සංස්කරණය සමග දොරට වැඩි Galaxy Nexus දුරකතනයේ පවා පැවති හැකියාවක්. ඉන් අනතුරුව මේ වසරේදී පැමිණි ඉහත කී HTC One දුරකතන වලත් Galaxy S මාදිලි වලත් මේ හැකියාව දක්නට ලැබීමෙන් මෙයද විශේෂී වූ අංගයක් ලෙසට සැලකීම නුසුදුසුය. මීළඟ අංගය ලෙසින් iPhone 5 හි කැමරා මෘදුකාංගයේ ඇති, වීඩියෝවක් පටිගත කරන අතරතුර එය නොනවත්වා, ඡායරූප ලබා ගැනීමේ හැකියාව සඳහන් කරන්නට පුළුවන්. මෙයද අති විශේෂ නව්‍යකරණයක් ලෙසින් Android දුරකතන භාවිතා කරන්නන් පිළි නොගන්නේ Galaxy Nexus, HTC One සහ Galaxy S3 මාදිලි වල දුරකතන වල මෙය මීට පෙර අඩංගු කර තිබීමයි. එබැවින් iPhone හට Android රසිකයින් එමගින්ද ගැලවීමට හැකියාවක් ලැබී නැති බවයි පෙනෙන්නේ.

iPhone 5 හි මීළඟ නව්‍යකරණය නම් එහි ප්‍රොසෙසරයේ ජවයයි. A6 චිපයක් අන්තර්ගත වුවත් මෙය Dual Core මාදිලියේ 1.2GHz ක වේගයක් ඇති ප්‍රොසෙසරයක් වීම මෑතක සිට එළි දැක්වුණු බොහෝ Android දුරකතන වල Quad Core ප්‍රොසෙසර් පැවතීම හේතුවෙන් නොසලකා හැරීමට සිදු වෙනවා. එහෙයින් මෙයද Android අපට නම් විශාල පෙරළියක් නොවන කරුණක් බව සඳහන් කළ යුතුයි.

ඒ කෙසේ නමුදු මෙහිදී iPhone 5 දුරකතනයේ එයට ආවේණික විශේෂ වෙනස්කම් කීපයක්ම එහි පෙනුම, අවසාන නිමැවුම සහ යොදා ගන්නා බාහිර උපාංග කෙරෙහි සිදු කර තිබෙනවා. මීට අමතරව අන්තර්ගත විවිධ මෘදුකාංග මගින්ද එහි ගුණාත්මකභාවය වැඩි දියුණු කර ඇති බවක් පෙනී ගියා. නමුත් මේ දුරකතනය දැනට සිටිනා බොහෝ iPhone රසිකයන්ගේ අප්‍රසාදයට හේතු වුණු දුරකතනයක් බව අන්තර්ජාලයේ දකින්නට ලැබෙන්නක්. මේ තාක් දොරට වැඩි සියළුම iPhone නිර්මාණ වලට වඩා iPhone 5 දුරකතන මෙවර බොහෝ සේ විහිළුවටද පාත්‍ර වූ බැව් බොහෝ සමාජ ජාල වෙබ් අඩවි වල හුවමාරු වන ඡායාරූප මගින් පෙනී ගියා. සමහරු පවසන්නේ ස්ටීව් ජොබ්ස් මෙකළ ජීවත්ව සිටියා නම් මෙවන් දුරකතනයක් එළි දැක්වීමටවත් ඉඩ නොදෙන බවකි. ඒ කෙසේ වෙතත් සුපුරුදු යාවජීව iPhone රසිකයින් මිලියන ගණනනක් මෙය මිලදී ගැනීමට පෙර සිටම ඇනවුම් ලබා දී ඇති බවත් අන්තර්ජාලයෙන් වාර්තා වෙනවා.

ඉතින් ඔබත් Android මෙහෙයුම් පද්ධතියේ නම්‍යශීලීත්වය අතැර iOS කෙරෙහි පෙම් බඳිනවාද නැද්ද යන්න තීරණය කරන්න.

2 comments:

Anonymous said...

කොච්චර කොව්වා කීවත් මචං අයි පෝං එකක් සාක්කුවෙන් එලියට අදිනකොට තියෙන රෙස්පට් එක වෙන කිසිම පෝං එකක නෑ නොවැ. ජය වේවා ඔබට!

Teshan said...

iPhone කියන්නෙ ඉතින් සල්ලිකාරයාගේ දුරකතනය. එහෙම නැත්තන් තමන්ගෙ තත්ත්වය හුවා දක්වන්නම සමහරු ගන්න දුරකතනයක්. හැබැයි දැන් Galaxy S3 එකත් මේ තත්ත්වයටම ඇවිත්.

Post a Comment