දන්න කියන දෙයක් හැමෝටම දැනගන්න කියලා ලියන මේ බ්ලොග් පිටුවට ඔයාලව ආදරයෙන් පිළි ගන්නවා. ඉගෙන ගන්න පුළුවන් දේවල් කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ආපු වෙලාවක කොමෙන්ට් එකක් දාන්නත්, පාඨකයෙක් විදියට ෆොලෝ කරන්නත් පුළුවන් නම් වටිනවා.

Monday, October 29, 2012

LG Nexus 4 නිල වශයෙන් ප්‍රකාශයට පත් කරයි

අයහපත් කාලගුණය හේතුවෙන් 29 වැනිදාට පැවැත්වීමට නියමිතව තිබූ Google සමාගමේ විශේෂ උත්සවය කල් ගිය ද එදින නිකරුනේ අපතේ යාමට මේ වන විට Google සමාගමත්, LG සමාගමත් කටයුතු කර තිබෙනා පුවතක් අන්තර්ජාලයෙන් වාර්තා වනවා. එනම් අන් කිසිවක් නොව සියළු දෙනා බලාපොරොත්තුවෙන් සිටි LG සමාගම විසින් මෙවර නිර්මාණය කරන ලද LG Nexus 4 සුපිරි ජංගම දුරකතනය නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමයි. මොවුන් මෙය සිදු කර ඇත්තේ Microsoft සමාගම විසින් පවත්වන්නට නියමිත තවත් එළි දැක්වීමක උත්සවයක ආරම්භයට පැයකට පෙරයි. කෙසේ නමුත් මේ සමගම ඔබ අප කවුරුත් මේ වන තෙක් දැන සිටි කරුණු රාශියක් ම මේ ප්‍රකාශයට පත් කිරීමත් සමගම තහවුරු වන අතරම තවත් නොදන්නා තොරතුරුත් හෙළි වී ඇත.

එම නිල තොරතුරු අනුව Nexus 4 ජංගම දුරකතන ඉතාමත් වේගවත් Krait CPU සහිත 1.5GHz Quad Core Snapdragon S4 Pro නම් වන ප්‍රොසෙසරයකින් ජව සම්පන්න වන අතර අඟල් 4.7ක් වන, පික්සල් විභේදනය 1280 x 768 ක් වන WXGA True HD IPS Plus තිරයකින් වර්ණවත් වන අතර ම එය Corning සමාගමේ Gorilla Glass 2 වීදුරුවක් මගින් ආරක්ෂිත වනු ඇත. එමෙන්ම ගිගාබයිට් 2ක මතක ධාරිතාවක් පවතින මෙහි මෙගාපික්සල් 8ක ප්‍රධාන පසුපස කැමරාවක් සහ මෙගාපික්සල් 1.3ක් වන ඉදිරිපස කැමරාවකින් පෝශණය වෙයි. මෙම දුරකතනයට බලය සපයනුයේ 2100 mAh වන බැටරියකින් වන අතර කතා කාලය පැය 15.3 ක් පමණ වනු ඇත.

Nexus 4 දුරකතනයේ පෙර කියූවාක් මෙන්ම NFC තාක්ශණයෙන් යුත් වන අතර Android 4.2 Jelly Bean මෙහෙයුම් පද්ධතිය මගින් ක්‍රියා කරයි. මෙම නව Android අනුවාදයෙන් හෙළි වන එක විශේෂාංගයක් වන්නේ "PhotoSphere" වන අතර එය බොහෝ දුරට Microsoft හි "PhotoSynth" ට සමානතාවක් දක්වයි. මෙයින් සිදුවන්නේ දුරකතනය මගින් ලබා ගන්නා ඡායාරූප කිහිපයක් ගැලපෙන ලෙසින් එකිනෙක එකතු වී තනි රූප සෑදීමේ හැකියාව ලැබීමයි. තව ද දුරකතනයේ Settings එකම තැනකින් පහසුවෙන් වෙනස් කළ හැකි සහ පහසුවෙන් පිවිසිය හැකි පැනලයක් ද මෙහි අන්තර්ගතයි.

දිග 133.9mm ක් ද, පළල 68.7mm ක් ද, ඝණකම 9.1mm ක්ද වන LG Nexus 4 දුරකතනයේ බර ග්‍රෑම් 139ක් පමණි. එනම් මෙය Galaxy Nexus දුරකතනයට වඩා මඳක් කොට, මඳක් පළල, සහ මඳක් ඝණකම දුරකතනයකි. මේ දුරකතනයේ ප්‍රකාශයට පත් කිරීම මගින් හෙළි වන තවත් කරුණක් නම් එහි ජාල සබඳතාව ඇත්තේ GSM සහ HSPA+ ජාල වලට පමණක් වන බවත් LTE ජාල සඳහා සම්බන්ධ වීමේ පහසුකම මෙහි අන්තර්ගත නොවීමයි.

තව ද Nexus 4 දුරකතනය, අභ්‍යන්තර ගබඩා ධාරිතාව ගිගා බයිට් 8 සහ 16 වන මාදිලි 2කින් නිකුත් වන අතර Google Play Store හරහා මිල දී ගැනීමට ඇමරිකා එක්සත් ජනපදය, එංගලන්තය, කැනඩාව, ජර්මනිය, ප්‍රංශය, ස්පාඥය සහ ඕස්ට්‍රේලියාව යන රටවලට නොවැම්බර් 13 වන දා සිට ඉඩ ලැබෙනු ඇත.

අළුතෙන්ම ලැබෙන පුවත් වලට අනුව මෙහි ගිගාබයිට් 8 මාදිලිය ඇමරිකානු ඩොලර් 299 ක් වන අතර ගිගාබයිට් 16 මාදිලිය ඇමරිකානු ඩොලර් 349ක් වනු ඇත.






0 comments:

Post a Comment