දන්න කියන දෙයක් හැමෝටම දැනගන්න කියලා ලියන මේ බ්ලොග් පිටුවට ඔයාලව ආදරයෙන් පිළි ගන්නවා. ඉගෙන ගන්න පුළුවන් දේවල් කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ආපු වෙලාවක කොමෙන්ට් එකක් දාන්නත්, පාඨකයෙක් විදියට ෆොලෝ කරන්නත් පුළුවන් නම් වටිනවා.

Tuesday, October 30, 2012

Android 4.2 Jelly Bean හි නව තතු

ඔක්තෝබර් 29 වන දිනයේ දී Google සමාගම තම විශේෂ එළි දැක්වීමේ උත්සවය නවතා දැමීම නිසා එදින සාමාන්‍ය දිනයක් ලෙසින් ගෙවී යතැයි බොහෝ දෙනා සිතුවද එය එසේ සිදු නොවුනේ ටිකෙන් ටික වර්ධනය වෙමින් පැවති සුළි කුණාටුවට පසුබට නොවී නවතා දැමූ කාර්යය වෙනත් අයුරකින් සිදු කිරීම නිසාය. කිසිම අඩුපාඩුවකින් තොරව, පෙර පුවත් සහ කටකතා වල සඳහන් වූ ආකාරයට ම Google සමාගම එදින තම Nexus උපාංග පෙළත් නව Android අනුවාදයත් එළි දැක්වූවා. මේ සැරසෙන්නේ එම Nexus උපාංග සියල්ලගේ ම ධාවනය වන නව Android 4.2 වන Jelly Bean හි අලුතින් දකින්නට ලැබෙන අංග පිළිබඳව තොරතුරු පළ කිරීමටයි.

1. Miracast (මිරකාස්ට්)
Miracast යනු Nexus 4 වැනි නව උපාංග මගින් Wi-Fi ඔස්සේ එහි තිරය රූපවාහිනියක් හා සම්බන්ධ කර ගැනීමෙන් හඬ සහ රූප හුවමාරු කර ගැනීමේ ක්‍රමෝපායකි. ඇත්තෙන්ම මෙය එතරම් විශේෂ කාරණාවක් නොවේ. නමුත් ඔබේ රූපවාහිනිය අඟල් 52 ක තරම් පැතලි තිරයක් සහිත වන්නේ නම් ඔබේ දුරකතනයේ ඇති දෑ එය හරහා නැරඹීමට ලැබීම විශේෂ අංගයක් වනු ඇත. රූපවාහිනී සඳහා වන Miracast උපාංග ද වෙළඳපොළට පැමිණෙනු ඇත. ඒ ඇමරිකානු ඩොලර් 99 කට නො අඩු මිලකට විය හැකිය. Google සමාගම තම Nexus උපාංග වල මෙම අංගය ස්ථාපනය කිරීම හේතුවෙන් Miracast, රූපවාහිනී වල ද අන්තර්ගත කෙරෙනු ඇත. මේ නිසා LG සමාගම 2013 වසරේ දී නිපදවන ස්මාර්ට් රූපවාහිනී සඳහා මෙම Miracast හැකියාව අන්තර්ගත කිරීමට 100% ක් ම ඇප කැප වී සිටින බවත් වාර්තා වෙනවා.



2. Gesture Typing Keyboard (ස්පර්ශයේ හැසිරීම අනුව ලියැවෙන යතුරු පුවරුව)
ඔබ දුරකතනයක හෝ ටැබ්ලට් පරිගණකයක හෝ තිරය මත ඇඟිලි වලින් නිතරම විවිධ ස්පර්ශයන් ලබා දෙමින් අවශ්‍ය කාර්යයන් කර ගැනීමට හුරු වී තිබෙනවා. එමෙන්ම ඇඟිලි, තිරය මත ඇතිල්ලීමෙන්, එසේත් නැතිනම් ඇදගෙන යාමෙන් ද විවිධ ක්‍රියාකාරකම් සිදු කරනු ලබනවා. Android 4.2 සමග හඳුන්වා දෙන මේ නවතම යතුරු පුවරු ආකාරයත් එසේ එක් ස්පර්ශීය ඇදීමකින් වචන ලිවීමේ හැකියාව ලබා දෙන්නක්. තවත් පැහැදිලි කළහොත් වචනයක් ලියන්නට ඔබ එක අකුරක් මත ඔබේ ඇඟිල්ල තබා වචනයේ අනිත් සියළුම අකුරු වෙත තම ඇඟිල්ල ඇදගෙන යාමෙන් තිරයෙන් ඇඟිල්ල එසවීමකින් තොරව වචන ලිවීමේ හැකියාව ලබා දෙන්නකි මේ Gesture Typing Keyboard. එසේම ඔබ ලියන්නේ කුමක්ද සහ ඔබේ ඇඟිල්ල මීලඟට දිව යන්නේ කිනම් අකුරක් වෙතට ද යන්න තීරණය කර එයට ගැලපෙන මීළඟ ආසන්නතම වචන කිහිපය අනුමාන කර ලබා දීමත් මෙම යතුරු පුවරුව මගින් සිදු කරනු ලබනවා.



3. Photo Sphere
මෙම නව අංගය පැමිණෙන්නේ කැමරා මෘදුකාංගයේ සිදුවී ඇති නවීකරණයත් සමගයි. මෙමගින් සිදු කරනු ලබන්නේ ඔබ කුමන දිශාවකට කැමරාව එල්ල කර ඡායාරූප ලබා ගත්ත ද ඔබ ගන්නා ඡායාරූප අදාල ස්ථාන වල දී එකිනෙක ඇමිණී සම්පූර්ණ රූපයක් ලබා දීමයි. මෙය Panorama අවස්ථාවෙ ම වැඩි දියුණු කරන ලද අවස්ථාවක් ලෙසිනුත් හැඳින්විය හැකිය. තව ද මෙය මගින් අංශක 360 ක ගෝලයක පරාසයක් පුරාවට ඡායාරූප එකතු කරගෙන තනි රූප සෑදීමේ හැකියාව පවතී. මෙය බොහෝ දුරට සමාන වන්නේ Google Maps හි පවතින Street View යන්නටය. මෙමගින් ඔබට ඔබ නිර්මාණය කරනා PhotoSphere රූප Google Maps වෙත එකතු කර ගැනීමට ද හැකියාව පවතී.



4. Multiple Users (පුද්ගල ගිණුම් කිහිපයක් පැවතීම)
ඔබගේ ටැබ්ලට් පරිගණකය කිහිප දෙනෙකු විසින් පරිහරණය කරන්නේ නම් ඔවුන් ඔබේ තොරතුරු සහ දත්ත, ලිපි ලේඛණ පරීක්ශා කරනාවට ඔබ අකමැති ඇති. මෙම ගැටළුවට පිළියමක් දැන් Android 4.2 මගින් ලබා දී ඇත. එනම් පුද්ගල ගිණුම් කිහිපයක් මගින් උපාංගය ක්‍රියාකරවීමේ හැකියාවයි. සරලව කිවහොත් සාමාන්‍ය Desktop පරිගණකයට කිහිප දෙනෙකු තම තමන්ගේ ගිණුම් හරහා සම්බන්ධ වී තම තමාගේ වැඩ කටයුතු කර ගැනීම හා සමාන ම දෙයකි. මෙමගින් ඒ ඒ පරිශීලකයා හට එකම උපාංගයක වෙන වෙනම වෙන් වූ ඉඩ කඩ තුල Homescreens, Backgrounds, Widgets, Apps සහ ක්‍රීඩා පවා අනෙකාගේ පෞද්ගලිකත්වයට බාධා නොකර පවත්වාගෙන යාමේ හැකියාව ලබා දී ඇත.



5. Google Now
Jelly Bean සමග සපැමිණි තවත් අංගයක් නම් Google Now යන්න. මෙය ද ඉතාමත් ප්‍රයෝජනවත් අන්දමින් වැඩි දියුණු කර ඇති අතර මින් පෙර සිට ම පැවති කාළගුණ තොරතුරු, ගමන් තොරතුරු වලට අමතරව ගුවන් ගමන් තොරතුරු, හෝටල් පහසුකම් තොරතුරු, ආපන ශාලා ඇනවුම් සිදු කිරීම, තමා සිටින තැනට සාපේක්ශව ආසන්නතම සිනමාහල් වල තිරගත වන වේලාවන් පිළිබඳ පවා තොරතුරු සැපයීමට සමත්.

6. Daydream
මෙම නවතම අංගය මගින් තම දුරකතනය ක්‍රියාවේ යොදවා නැති විට දී සහ රඳවනයේ තබා ඇති අවස්ථාවන්හී දී වැදගත් වන තොරතුරු තිරය මත දර්ශනය කරන්නකි. මෙය හරහා ඔබට ඔබේ ඡායාරූප ඇල්බමයක් දර්ශණය කර ගැනීමට හෝ Google Currents හි අලුත් ම පුවත් ගෙන්වා ගැනීමට ද පිළිවන.



7. Lock screen enhancements
ඔබේ උපාංගය අගුළු දමා ඇති අවස්ථාවේ එනම් Lock කර පවතින විට තිබූ තනි තිරය දැන් තිර කිහිපයක් වී ඇති අතර ඒවාට ද තමා කැමති widgets එකතු කර ගැනීමේ හැකියාව ලබා දී ඇත. මෙමගින් ලැබෙනා වාසිය නම් දුරකතනයේ අගුළු හැරීමකින් තොරව ම තමන්ට තමන්ගේ අභිමත තොරතුරු වලට ප්‍රවිශ්ඨ වීමට ඇති හැකියාවයි.

8. Enhanced notifications (වැඩි දියුණු කළ Notifications)
මෙහි එකතු වී ඇති නවතම අංගය නම් "Quick Settings" යන්නයි. Notification පැනලය පහලට ඇදීමෙන් අනතුරුව දකුණු ඉහළ කෙළවරේ ඇති අයිතමය ස්පර්ශ කිරීමෙන් මතු වන තවත් පැනලයක මෙම "Quick Settings" අංග පවතී.



මීට අමතරව දැකිය හැකි වෙනස්කම් නම් අප පෙර දී සවිස්තරාත්මකව සඳහන් කරන ලද Gmail හි සිදු කර ඇති වෙනස්කම් ය. තව ද ප්‍රධාන තිරයන් මත තෙවරක් ස්පර්ශ කිරීම තුලින් අදාළ ප්‍රධාන තිරය විශාලනය කර බැලීමේ හැකියාවත් නව Android අනුවාදයේ අන්තර්ගත විශේෂාංග අතරේ වේ.

0 comments:

Post a Comment