දන්න කියන දෙයක් හැමෝටම දැනගන්න කියලා ලියන මේ බ්ලොග් පිටුවට ඔයාලව ආදරයෙන් පිළි ගන්නවා. ඉගෙන ගන්න පුළුවන් දේවල් කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ආපු වෙලාවක කොමෙන්ට් එකක් දාන්නත්, පාඨකයෙක් විදියට ෆොලෝ කරන්නත් පුළුවන් නම් වටිනවා.

Wednesday, October 31, 2012

Nexus Q අරුතුදහන්?

පසුගිය ජූනි මාසයේදී Google සමාගම තම I/O සමුළුවේ දී හඳුන්වා දෙන්නට යෙදුන Nexus Q උපාංගය පිළිබඳවයි මේ කියන්න්ට යන්නේ. ඇත්තෙන්ම මේ Nexus Q යනු කුමක්ද? එයින් සිදුවන්නේ කුමක්ද? එය මිල දී ගන්නේ කෙසේද? මෙවන් ගැටළු රැසක් ම ඔබට ඇති වනවා වන්නට පිළිවනි.

Nexus Q යනු Google සමාගම විසින් පසුගිය ජූනි මාසයේ දී එවකට තම නවතම Nexus ජංගම උපාංග එළි දැක්වීමේ අවස්ථාවේ දී කාගේත් අවධානය දිනා ගැනීමට හැකි වූ තවත් නවතම මාදිලියේ Nexus උපාංගයකි. මෙහි කාර්‍යභාරය වන්නේ විනෝදාශ්වාදය සඳහා ගීත, වීඩියෝ ආදිය ඒ අවට ඇති Nexus උපාංග හා හුවමාරු කර ගැනීමේ හැකියාව ලබා දෙන උපකරණයක් වගේම එයට සම්බන්ධ කරනා හඬ පද්ධතියක් හෝ HDTV රූපවාහිනියක් හරහා රස විඳීමේ හැකියාව සලසන උපකරණයක් වීම. කෙටියෙන් කියතොත් ශ්‍රව්‍ය දෘශ්‍ය මංජුසාවක් වැන්නකි. එහි පවතින ගීත හෝ වීඩියෝ අනෙකුත් Nexus උපාංග හා හුවමාරු කිරීම මගින් එයට සම්බන්ධ සියළුම රසිකයන් හට පොදුවේ රස වින්දනයක් ලබා ගත හැකිය. මෙය ගෝලාකාර හැඩයකින් යුතු වන අතර එය වටා දිවෙන LED වලින් හැඩ ගැන්වුනු රේඛාව ඒ හරහා යමක් වාදනය වන විට විවිධ වර්ණ රටා ගෙන හැර පායි.

මෑතක් වන තුරු ම මෙම Nexus Q උපාංගය Google සමාගමේ Nexus සඳහා වන වෙබ් පිටුවෙහි පළ වී තිබුන ද දැන් එය දැකීමට නොහැක. එය සම්පූර්ණයෙන් ම එම පිටුවෙන් ඉවත් වී පසුගිය 29 වන දා එළි දැක්වූ නවතම Nexus උපාංග ත්‍රිත්වයෙන් පිරී පවතී. ඇත්තෙන් ම මේ Nexus Q වලට සිදු වූයේ කුමක්ද?

ඇත්තෙන් ම මෙය Google සමාගම විසින් නිපදවුව ද එය වෙළඳ පොළට ඔවුන් විසින් නිකුත් කරනු නොලැබිණ. මෑතක් වන තුරුත් එය Google Play Store හි පෙර ඇනවුම් සඳහා පමණක් වෙන් වී පැවතුන ද අනෙකුත් Nexus උපාංග වලට මෙන් මිල දී ගැනීමට හැකියාවක් ලබා දී නොතිබිණ. Nexus පිළිබඳ Google වෙබ් පිටුවෙන් ඔවුන් මෙය ඉවත් කිරීමත් සමග ම පවසා ඇත්තේ ඔවුන් මෙය තවත් වැඩි දියුණු කරනා බවත් බොහෝ විට නැවත පැමිණිය හැකි බවත් ය. Nexus Q සඳහා පෙර ඇනවුම් කරන ලද සියළු දෙනා හට Google සමාගම විසින් Nexus Q ද්විත්වය බැගින් එක් Nexus Q එකක මිලට ලබා දී ඇති බව වාර්තා වනවා.

තත්ත්වය මෙසේ වුවත් දෘඪාංගමය සහ මෘදුකාංගමය වෙනස්කම් රැසක් සහිතව නව මුහුණුවරකින් 2013 වසරේ පැවැත්වෙන මීලඟ Google I/O සමුළුවේ දී Nexus Q ඇමරිකානු ඩොලර් 299 ක් වැනි මුදලකට මිලදී ගැනීමේ හැකියාව ඇතුව නිකුත් කෙරෙනු ඇතැයි ඇතැමුන් පවසා සිටිනවා.



Tuesday, October 30, 2012

Android 4.2 Jelly Bean හි නව තතු

ඔක්තෝබර් 29 වන දිනයේ දී Google සමාගම තම විශේෂ එළි දැක්වීමේ උත්සවය නවතා දැමීම නිසා එදින සාමාන්‍ය දිනයක් ලෙසින් ගෙවී යතැයි බොහෝ දෙනා සිතුවද එය එසේ සිදු නොවුනේ ටිකෙන් ටික වර්ධනය වෙමින් පැවති සුළි කුණාටුවට පසුබට නොවී නවතා දැමූ කාර්යය වෙනත් අයුරකින් සිදු කිරීම නිසාය. කිසිම අඩුපාඩුවකින් තොරව, පෙර පුවත් සහ කටකතා වල සඳහන් වූ ආකාරයට ම Google සමාගම එදින තම Nexus උපාංග පෙළත් නව Android අනුවාදයත් එළි දැක්වූවා. මේ සැරසෙන්නේ එම Nexus උපාංග සියල්ලගේ ම ධාවනය වන නව Android 4.2 වන Jelly Bean හි අලුතින් දකින්නට ලැබෙන අංග පිළිබඳව තොරතුරු පළ කිරීමටයි.

1. Miracast (මිරකාස්ට්)
Miracast යනු Nexus 4 වැනි නව උපාංග මගින් Wi-Fi ඔස්සේ එහි තිරය රූපවාහිනියක් හා සම්බන්ධ කර ගැනීමෙන් හඬ සහ රූප හුවමාරු කර ගැනීමේ ක්‍රමෝපායකි. ඇත්තෙන්ම මෙය එතරම් විශේෂ කාරණාවක් නොවේ. නමුත් ඔබේ රූපවාහිනිය අඟල් 52 ක තරම් පැතලි තිරයක් සහිත වන්නේ නම් ඔබේ දුරකතනයේ ඇති දෑ එය හරහා නැරඹීමට ලැබීම විශේෂ අංගයක් වනු ඇත. රූපවාහිනී සඳහා වන Miracast උපාංග ද වෙළඳපොළට පැමිණෙනු ඇත. ඒ ඇමරිකානු ඩොලර් 99 කට නො අඩු මිලකට විය හැකිය. Google සමාගම තම Nexus උපාංග වල මෙම අංගය ස්ථාපනය කිරීම හේතුවෙන් Miracast, රූපවාහිනී වල ද අන්තර්ගත කෙරෙනු ඇත. මේ නිසා LG සමාගම 2013 වසරේ දී නිපදවන ස්මාර්ට් රූපවාහිනී සඳහා මෙම Miracast හැකියාව අන්තර්ගත කිරීමට 100% ක් ම ඇප කැප වී සිටින බවත් වාර්තා වෙනවා.



2. Gesture Typing Keyboard (ස්පර්ශයේ හැසිරීම අනුව ලියැවෙන යතුරු පුවරුව)
ඔබ දුරකතනයක හෝ ටැබ්ලට් පරිගණකයක හෝ තිරය මත ඇඟිලි වලින් නිතරම විවිධ ස්පර්ශයන් ලබා දෙමින් අවශ්‍ය කාර්යයන් කර ගැනීමට හුරු වී තිබෙනවා. එමෙන්ම ඇඟිලි, තිරය මත ඇතිල්ලීමෙන්, එසේත් නැතිනම් ඇදගෙන යාමෙන් ද විවිධ ක්‍රියාකාරකම් සිදු කරනු ලබනවා. Android 4.2 සමග හඳුන්වා දෙන මේ නවතම යතුරු පුවරු ආකාරයත් එසේ එක් ස්පර්ශීය ඇදීමකින් වචන ලිවීමේ හැකියාව ලබා දෙන්නක්. තවත් පැහැදිලි කළහොත් වචනයක් ලියන්නට ඔබ එක අකුරක් මත ඔබේ ඇඟිල්ල තබා වචනයේ අනිත් සියළුම අකුරු වෙත තම ඇඟිල්ල ඇදගෙන යාමෙන් තිරයෙන් ඇඟිල්ල එසවීමකින් තොරව වචන ලිවීමේ හැකියාව ලබා දෙන්නකි මේ Gesture Typing Keyboard. එසේම ඔබ ලියන්නේ කුමක්ද සහ ඔබේ ඇඟිල්ල මීලඟට දිව යන්නේ කිනම් අකුරක් වෙතට ද යන්න තීරණය කර එයට ගැලපෙන මීළඟ ආසන්නතම වචන කිහිපය අනුමාන කර ලබා දීමත් මෙම යතුරු පුවරුව මගින් සිදු කරනු ලබනවා.



3. Photo Sphere
මෙම නව අංගය පැමිණෙන්නේ කැමරා මෘදුකාංගයේ සිදුවී ඇති නවීකරණයත් සමගයි. මෙමගින් සිදු කරනු ලබන්නේ ඔබ කුමන දිශාවකට කැමරාව එල්ල කර ඡායාරූප ලබා ගත්ත ද ඔබ ගන්නා ඡායාරූප අදාල ස්ථාන වල දී එකිනෙක ඇමිණී සම්පූර්ණ රූපයක් ලබා දීමයි. මෙය Panorama අවස්ථාවෙ ම වැඩි දියුණු කරන ලද අවස්ථාවක් ලෙසිනුත් හැඳින්විය හැකිය. තව ද මෙය මගින් අංශක 360 ක ගෝලයක පරාසයක් පුරාවට ඡායාරූප එකතු කරගෙන තනි රූප සෑදීමේ හැකියාව පවතී. මෙය බොහෝ දුරට සමාන වන්නේ Google Maps හි පවතින Street View යන්නටය. මෙමගින් ඔබට ඔබ නිර්මාණය කරනා PhotoSphere රූප Google Maps වෙත එකතු කර ගැනීමට ද හැකියාව පවතී.



4. Multiple Users (පුද්ගල ගිණුම් කිහිපයක් පැවතීම)
ඔබගේ ටැබ්ලට් පරිගණකය කිහිප දෙනෙකු විසින් පරිහරණය කරන්නේ නම් ඔවුන් ඔබේ තොරතුරු සහ දත්ත, ලිපි ලේඛණ පරීක්ශා කරනාවට ඔබ අකමැති ඇති. මෙම ගැටළුවට පිළියමක් දැන් Android 4.2 මගින් ලබා දී ඇත. එනම් පුද්ගල ගිණුම් කිහිපයක් මගින් උපාංගය ක්‍රියාකරවීමේ හැකියාවයි. සරලව කිවහොත් සාමාන්‍ය Desktop පරිගණකයට කිහිප දෙනෙකු තම තමන්ගේ ගිණුම් හරහා සම්බන්ධ වී තම තමාගේ වැඩ කටයුතු කර ගැනීම හා සමාන ම දෙයකි. මෙමගින් ඒ ඒ පරිශීලකයා හට එකම උපාංගයක වෙන වෙනම වෙන් වූ ඉඩ කඩ තුල Homescreens, Backgrounds, Widgets, Apps සහ ක්‍රීඩා පවා අනෙකාගේ පෞද්ගලිකත්වයට බාධා නොකර පවත්වාගෙන යාමේ හැකියාව ලබා දී ඇත.



5. Google Now
Jelly Bean සමග සපැමිණි තවත් අංගයක් නම් Google Now යන්න. මෙය ද ඉතාමත් ප්‍රයෝජනවත් අන්දමින් වැඩි දියුණු කර ඇති අතර මින් පෙර සිට ම පැවති කාළගුණ තොරතුරු, ගමන් තොරතුරු වලට අමතරව ගුවන් ගමන් තොරතුරු, හෝටල් පහසුකම් තොරතුරු, ආපන ශාලා ඇනවුම් සිදු කිරීම, තමා සිටින තැනට සාපේක්ශව ආසන්නතම සිනමාහල් වල තිරගත වන වේලාවන් පිළිබඳ පවා තොරතුරු සැපයීමට සමත්.

6. Daydream
මෙම නවතම අංගය මගින් තම දුරකතනය ක්‍රියාවේ යොදවා නැති විට දී සහ රඳවනයේ තබා ඇති අවස්ථාවන්හී දී වැදගත් වන තොරතුරු තිරය මත දර්ශනය කරන්නකි. මෙය හරහා ඔබට ඔබේ ඡායාරූප ඇල්බමයක් දර්ශණය කර ගැනීමට හෝ Google Currents හි අලුත් ම පුවත් ගෙන්වා ගැනීමට ද පිළිවන.



7. Lock screen enhancements
ඔබේ උපාංගය අගුළු දමා ඇති අවස්ථාවේ එනම් Lock කර පවතින විට තිබූ තනි තිරය දැන් තිර කිහිපයක් වී ඇති අතර ඒවාට ද තමා කැමති widgets එකතු කර ගැනීමේ හැකියාව ලබා දී ඇත. මෙමගින් ලැබෙනා වාසිය නම් දුරකතනයේ අගුළු හැරීමකින් තොරව ම තමන්ට තමන්ගේ අභිමත තොරතුරු වලට ප්‍රවිශ්ඨ වීමට ඇති හැකියාවයි.

8. Enhanced notifications (වැඩි දියුණු කළ Notifications)
මෙහි එකතු වී ඇති නවතම අංගය නම් "Quick Settings" යන්නයි. Notification පැනලය පහලට ඇදීමෙන් අනතුරුව දකුණු ඉහළ කෙළවරේ ඇති අයිතමය ස්පර්ශ කිරීමෙන් මතු වන තවත් පැනලයක මෙම "Quick Settings" අංග පවතී.



මීට අමතරව දැකිය හැකි වෙනස්කම් නම් අප පෙර දී සවිස්තරාත්මකව සඳහන් කරන ලද Gmail හි සිදු කර ඇති වෙනස්කම් ය. තව ද ප්‍රධාන තිරයන් මත තෙවරක් ස්පර්ශ කිරීම තුලින් අදාළ ප්‍රධාන තිරය විශාලනය කර බැලීමේ හැකියාවත් නව Android අනුවාදයේ අන්තර්ගත විශේෂාංග අතරේ වේ.

Monday, October 29, 2012

නව Nexus උපාංග පෙළ දැන් Google වෙතින්

ඔක්තෝබර් 29 වැනිදා පිළිබඳව Android ලෝලීන්ගේ තිබූ කඩ වුණු බලාපොරොත්තුවට නැවතත් පණ දෙමින් ඔවුනගේ සිහින බොඳ නොකරමින් Google සමාගම 29 වැනිදා ම ඔවුනගේ නවතම Nexus උපාංග පෙළ නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා. එළි දැක්වීමේ උත්සවයක් නොපැවැත්වුව ද එහි අදහස එවන් අවස්ථාවක් මෙවන් නව පන්නයේ උපාංග එළි දැක්වීමක් සඳහා අත්‍යාවශ්‍ය ම නැති බවයි. එහෙයින් Google සමාගම මගින් Nexus පවුලේ නවතම සාමාජිකයන් මෙලෙස 29 වැනි දා අන්තර්ජාලය ඔස්සේ මුළු ලෝකයට ම නිරාවරණය කරනු ලැබුවා. ආරංචි මාර්ග වලට අනුව මේ වන විට මේ එළි දැක්වීමත් සමග ම Nexus පිළිබඳව කෙරෙන කතා බහ අනෙක් සියළුම එළි දැක්වීම් වලට වඩා වැඩි වී ඇති බව වාර්තා වනවා.

මෙලෙස Nexus පවුලට එකතු වන නවතම උපාංග වන්නේ LG සමාගමේ Nexus 4 ස්මාර්ට් ජංගම දුරකතනයත්, Asus සමාගමේ Nexus 7 ටැබ්ලට් පරිගණකයේ ගිගාබයිට් 32ක් වන මාදිලිය සහ Samsung සමාගමේ Nexus 10 ටැබ්ලට් පරිගණකයයි. මේ නිල ප්‍රකාශයත් සමග ම Google සමාගම තම Google Play Store වෙත නවතම Nexus උපාංග ත්‍රිත්වය ද ඒවායේ අනෙකුත් මාදිලි ද ඇතුලත් කොට යාවත්කාලීන කොට තිබෙනවා. මීට අමතරව පැවසිය යුතු අනෙක් කරුණ නම් මේ උපාංග වල ඇදහිය නොහැකි මිල ගණන්. මන්දයත් වර්තමාණයේ නම ගිය ජංගම උපාංග නිර්මාණ සමාගම් මගින් නිපදවන ලද මේ උපාංගයන් අන් සියළුම ජංගම උපාංග වලට සාපේක්ශව මිලෙන් ඉතා අඩු වීමයි.

LG Nexus 4 හි ගිගා බයිට් 8 මාදිලිය ඇමරිකානු ඩොලර් 299 කටත්, ගිගාබයිට් 16 මාදිලිය ඇමරිකානු ඩොලර් 349 කට නොහොත් පෙර දී Galaxy Nexus දුරකතනය පැවති මිල‍ට ම ලබා දීම සුවිශේෂී කාරණාවක්. තව ද, Samsung Nexus 10 ටැබ්ලට් පරිගණකයේ ගිගාබයිට් 16 මාදිලිය ඇමරිකානු ඩොලර් 399 කටත්, ගිගාබයිට් 32 මාදිලිය ඇමරිකානු ඩොලර් 499 කටත් සලකුණු කර තිබෙනවා. Nexus 7 ටැබ්ලට් පරිගණකයේ ගිගාබයිට් 16 මාදිලිය ඇමරිකානු ඩොලර් 199 කටත්, ගිගාබයිට් 32ක් වන නවතම මාදිලිය ඇමරිකානු ඩොලර් 249 කටත් ලබා දීමට නියමිතයි. මේ මිල ගණන් Apple සමාගමේ සියළුම උපාංග හා සසඳා බලද්දී ඉතාමත්ම අඩු මට්ටමක පවතින, පාරිභෝගිකයන්ට පහසු මිලකින් යුතු වන බැවින් Apple iPad, iPad Mini, iPhone 5 අභිබවා ජනතාව අතරට යතැයි සිතිය හැකිය. මේ උපාංග Nexus පාරිභෝගිකයන් හට ලබා ගැනීමට හැකි වනුයේ නොවැම්බර් මස 13 වන දා සිටයි.

Nexus 10 ටැබ්ලට්ටුවේ ඇති අංග පිළිබඳව නිල වශයෙන් නිකුත් වූ Google Play Store පිටුවෙහි ඇති විස්තර කෙටියෙන් සලකා බැලුවහොත්, පික්සල් විභේදනය 2560 x 1600 වන අඟලකට පික්සල් 300ක් වන, අඟල් 10.055 ක WQXGA තිරයකින් හැඩ වී Corning සමාගමේ Gorilla Glass 2 වීදුරුවකින් ආරක්ෂා වී පැමිණෙන්නක්. ග්‍රෑම් 603 ක බරින් යුතු, A15 Dual Core ප්‍රොසෙසරයකින් ජව සම්පන්නවත්, ගිගාබයිට් 2ක මතකයකිනුත්, මෙගා පික්සල් 5ක ප්‍රධාන සහ මෙගා පික්සල් 1.9ක ඉදිරිපස කැමරා වලීන් ද, NFC, Bluetooth, Wi-Fi සබඳතාවෙන් ද පෝශණය වී ඇත. මෙයට බලය සපයන්නේ 9000mAh වන Lithium Polymer බැටරියකිනි. තව ද Micro USB, Micro HDMI විවර ද මෙහි අන්තර්ගතය. ප්‍රමාණය පිළිබඳව සැලකුවහොත් මෙය දිගින් 263.9mm ක් ද, පළලින් 177.6mm ක් ද, ඝණකම 8.9mm ක් ද වේ.

ඉතින් Android ලෝලීන් හට සතුටුදායක මේ පුවත හදිසි වාතාවරණයක් යටතේ වුව ද Google සමාගම විසින් තම පාරිභෝගිකයන් කණස්සල්ලට පත් නොකරමින් ලබා දීම Google සමාගම පිළිබඳව යහපත් ප්‍රතිරූපයක් ඇති කර ගැනීමට හේතු වනු ඇත. නැවතත් අපට බලා සිටීමට මින් ඉදිරියට එකතු වන දින 2 වනුයේ තවමත් ප්‍රකාශයට පත් නොකළ මේවායේ හඳුන්වා දීමේ උත්සවය පැවැත්වෙන දිනය සහ නොවැම්බර් 13 වැනිදායි.




LG Nexus 4 නිල වශයෙන් ප්‍රකාශයට පත් කරයි

අයහපත් කාලගුණය හේතුවෙන් 29 වැනිදාට පැවැත්වීමට නියමිතව තිබූ Google සමාගමේ විශේෂ උත්සවය කල් ගිය ද එදින නිකරුනේ අපතේ යාමට මේ වන විට Google සමාගමත්, LG සමාගමත් කටයුතු කර තිබෙනා පුවතක් අන්තර්ජාලයෙන් වාර්තා වනවා. එනම් අන් කිසිවක් නොව සියළු දෙනා බලාපොරොත්තුවෙන් සිටි LG සමාගම විසින් මෙවර නිර්මාණය කරන ලද LG Nexus 4 සුපිරි ජංගම දුරකතනය නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමයි. මොවුන් මෙය සිදු කර ඇත්තේ Microsoft සමාගම විසින් පවත්වන්නට නියමිත තවත් එළි දැක්වීමක උත්සවයක ආරම්භයට පැයකට පෙරයි. කෙසේ නමුත් මේ සමගම ඔබ අප කවුරුත් මේ වන තෙක් දැන සිටි කරුණු රාශියක් ම මේ ප්‍රකාශයට පත් කිරීමත් සමගම තහවුරු වන අතරම තවත් නොදන්නා තොරතුරුත් හෙළි වී ඇත.

එම නිල තොරතුරු අනුව Nexus 4 ජංගම දුරකතන ඉතාමත් වේගවත් Krait CPU සහිත 1.5GHz Quad Core Snapdragon S4 Pro නම් වන ප්‍රොසෙසරයකින් ජව සම්පන්න වන අතර අඟල් 4.7ක් වන, පික්සල් විභේදනය 1280 x 768 ක් වන WXGA True HD IPS Plus තිරයකින් වර්ණවත් වන අතර ම එය Corning සමාගමේ Gorilla Glass 2 වීදුරුවක් මගින් ආරක්ෂිත වනු ඇත. එමෙන්ම ගිගාබයිට් 2ක මතක ධාරිතාවක් පවතින මෙහි මෙගාපික්සල් 8ක ප්‍රධාන පසුපස කැමරාවක් සහ මෙගාපික්සල් 1.3ක් වන ඉදිරිපස කැමරාවකින් පෝශණය වෙයි. මෙම දුරකතනයට බලය සපයනුයේ 2100 mAh වන බැටරියකින් වන අතර කතා කාලය පැය 15.3 ක් පමණ වනු ඇත.

Nexus 4 දුරකතනයේ පෙර කියූවාක් මෙන්ම NFC තාක්ශණයෙන් යුත් වන අතර Android 4.2 Jelly Bean මෙහෙයුම් පද්ධතිය මගින් ක්‍රියා කරයි. මෙම නව Android අනුවාදයෙන් හෙළි වන එක විශේෂාංගයක් වන්නේ "PhotoSphere" වන අතර එය බොහෝ දුරට Microsoft හි "PhotoSynth" ට සමානතාවක් දක්වයි. මෙයින් සිදුවන්නේ දුරකතනය මගින් ලබා ගන්නා ඡායාරූප කිහිපයක් ගැලපෙන ලෙසින් එකිනෙක එකතු වී තනි රූප සෑදීමේ හැකියාව ලැබීමයි. තව ද දුරකතනයේ Settings එකම තැනකින් පහසුවෙන් වෙනස් කළ හැකි සහ පහසුවෙන් පිවිසිය හැකි පැනලයක් ද මෙහි අන්තර්ගතයි.

දිග 133.9mm ක් ද, පළල 68.7mm ක් ද, ඝණකම 9.1mm ක්ද වන LG Nexus 4 දුරකතනයේ බර ග්‍රෑම් 139ක් පමණි. එනම් මෙය Galaxy Nexus දුරකතනයට වඩා මඳක් කොට, මඳක් පළල, සහ මඳක් ඝණකම දුරකතනයකි. මේ දුරකතනයේ ප්‍රකාශයට පත් කිරීම මගින් හෙළි වන තවත් කරුණක් නම් එහි ජාල සබඳතාව ඇත්තේ GSM සහ HSPA+ ජාල වලට පමණක් වන බවත් LTE ජාල සඳහා සම්බන්ධ වීමේ පහසුකම මෙහි අන්තර්ගත නොවීමයි.

තව ද Nexus 4 දුරකතනය, අභ්‍යන්තර ගබඩා ධාරිතාව ගිගා බයිට් 8 සහ 16 වන මාදිලි 2කින් නිකුත් වන අතර Google Play Store හරහා මිල දී ගැනීමට ඇමරිකා එක්සත් ජනපදය, එංගලන්තය, කැනඩාව, ජර්මනිය, ප්‍රංශය, ස්පාඥය සහ ඕස්ට්‍රේලියාව යන රටවලට නොවැම්බර් 13 වන දා සිට ඉඩ ලැබෙනු ඇත.

අළුතෙන්ම ලැබෙන පුවත් වලට අනුව මෙහි ගිගාබයිට් 8 මාදිලිය ඇමරිකානු ඩොලර් 299 ක් වන අතර ගිගාබයිට් 16 මාදිලිය ඇමරිකානු ඩොලර් 349ක් වනු ඇත.






Sunday, October 28, 2012

LG Nexus 4 වල අත්පොත පිට වෙයි

LG-E960 යන සංකේත නාමයෙන් හඳුන්වන LG සමාගම විසින් නිපදවූ අළුත්ම Nexus දුරකතනය 29 වැනිදා නිකුත් වීමට තිබුණ ද හදිසියේ ඇති වූ සුළි කුනාටුවක් හේතුවෙන් Google සමාගමට එය දින නියමයක් නොමැතිව කල් දැමීමට සිදුව තිබීමෙන් Nexus 4 දුරකතනය Android සහිත ජංගම දුරකතන ලෝලීන්ගේ අතට පත් වීමට තව සුළු කාලයක් ගත වීමට පිළිවන. Google සමාගම එම උත්සවය නිව්යෝක් නගරයේ ම පවත්වන්නට බලාපොරොත්තු වන්නේ නම් නව දිනය තවත් සතියක පමණ ප්‍රමාදයකින් දැනුම් දෙනු ඇත.

එය එසේ වුවත් වර්තා වන තවත් අළුත් ම පුවතක් වන්නේ Nexus දුරකතනයේ සේවා අත්පොතක් මේ වනවිට අන්තර්ජාලයට නිකුත් වී තිබීමයි. එය සිදු කර ඇත්තේ LG සමාගම විසින්ම ඔවුනගේ වෙබ් අඩවියේයි. නමුත් ඊට අදාළ වන සබැඳිය මේ වන විට අක්‍රීය තත්වයේ පවතින්නක්. මෙම පිටවී ඇති අත්පොත මගින් හෙළි වන කරුණු අතරින් වඩාත් වැදගත් වන කරුණ නම් Nexus 4 ජංගම දුරකතනයේ අභ්‍යන්තර ධාරිතාව ගිගාබයිට් 8 සහ 16 යන මාදිලි 2කින් පැමිණෙන බව. තව ද රැහැන් රහිත ආරෝපණය කිරීමේ හැකියාවත් ඇති බව ඉන් හෙළි වේ. දුරකතනයේ අංග පවතින්නේ කිනම් ස්ථාන වලදැයි යන්න පිළිබඳව මනා අවබෝධයක් මෙම අත්පොත මගින් දැන ගැනීමට ලැබී ඇත.

එම පිට වූ අත්පොත පහත සබැඳියෙන් ලබා ගන්න.


Sandy නිසා Nexus එළි දැක්වීම කල් යයි

අන්තර්ජාලයේ තත්පරයෙන් තත්පරය අළුත් වන ජංගම උපාංග පිළිබඳ පුවත් වල දායකත්වයෙන් Google සමාගම කුමක් තම ජංගම උපාංග පරිශීලනය කරන්නන් වෙනුවෙන් නිකුත් කිරීමට යනවාදැයි යන්න පිළිබඳව මනා අවබෝධයක් Android ලෝලීන් හට දැනටමත් ලැබී ඇතැයි සිතිය හැකිය මන්දයත් ඔක්තෝබර් 29 වැනිදාට නිව්යෝක් නගරයේ දී Google සමාගම ඔවුනගේ නවතම නිර්මාණ පොදියක් ම තම පාරිභෝගිකයන් හට හඳුන්වා දීමට මේ වන විට සියළුම සැලසුම් ක්‍රියාත්මක වෙමින් පැවතුණු නිසා. 

නමුත් අදාළ දිනට එනම් 29 වැනිදාට පෙර දිනයේ දී ඇමරිකාවට හඹා ආ "Sandy" යන නාමයෙන් හඳුන්වන දරුණු සුළි කුණාටුවක් හේතුවෙන් මෙසේ 29 වැනිදාට පැවැත්වීමට නියමිතව සංවිධානය කර තිබූ උත්සවය දින නියමයක් නොමැතිව කල් දැමීමට සිදුවී ඇති බව Google සමාගම විසින් තම ආරාධිතයන් වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් යවා තිබෙනවා. මේ උත්සවය පැවැත්වීමට නියමිතව තිබූ නිව්යෝක් නගරයේ අදාළ ස්ථානය ජල තීරයක් අසබඩ පැවතීමත්, එම ස්ථානයෙන් මේ වන විට සියළු දෙනා ඉවත් කරමින් පවතින බවත් අන්තර්ජාලයෙන් වාර්තා වනවා. නිව්යෝක් නගරය හදිසි ආපදා තත්ත්වයක පවතින බවට ප්‍රකාශයට පත් කොට ඇති බවත් වැඩි දුරටත් වාර්තා වනවා. 

ආරාධිතයන් වෙත Google සමාගම විසින් යවන ලද පණිවිඩය මෙලෙස වේ. 

"We are canceling our Monday morning event in New York due to Hurricane Sandy. We will let you know our plans as soon as we know more. 
Stay safe and dry, 
The Android Team" 

Google සමාගම 29 වැනි සඳුදා දිනයේ දී තම නවතම Android උපාංග වන LG සමාගමේ Nexus 4 ජංගම දුරකතනයත්, Samsung සමාගමේ Nexus 10 ටැබ්ලට් පරිගණකය හා Asus සමාගමේ Nexus 7 ටැබ්ලට් පරිගණකයේ ම ගිගා බයිට් 32ක ධාරිතාවකින් හෙබි වැඩි දියුණු කරන ලද ටැබ්ලට් පරිගණකයත් ලෝකයට හඳුන්වා දීමට නියමිතව පැවතියේ ය. එපමණක් නොව එදින දී Android මෙහෙයුම් පද්ධතියේ 4.2 වන අනුවාදයත් නිකුත් කිරීමටයි සැදී පැහැදී සිටිනු ලැබුවේ. 

දින නියමයක් නොමැතිව හදිසි තත්ත්වයක් හේතුවෙන් මෙසේ කල් ගිය, සියළු දෙනා බලා සිටි මෙම අවස්ථාව අනිවාර්යෙන් ම Google සමාගම තුලින් ඉතා ඉක්මණින් ම නැවතත් ඉදිරි දිනක දී පවත්වනු ඇතැයි බොහෝ දෙනාගේ විශ්වාසයයි. කෙනමුත් Google සමාගම මේ පිළිබඳව නුදුරේදී ම දැනුන්ම් දෙන බවත් පවසා තිබෙනවා.

Friday, October 26, 2012

Android 4.2 - Jelly Bean ලෙසින්

එලැඹෙන සඳුදා දිනයේ දී දොරට වඩින නවතම Android 4.2 මෙහෙයුම් පද්ධතිය Jelly Bean ලෙසින්ම හඳුන්වන බව දැන් තහවුරු වී ඇති කරුණක්. මෙම සංස්කරණය “JVP15I” යන අංකය සහිතව "MANTA" යන සංකේත නාමයෙන් පැමිණෙන්නක්.  මෙය Jelly Bean හි ම වැඩි දියුණු කළ අවස්ථාවක් ලෙසයි කියනු ලබන්නේ.







ඡායාරූප සහ වීඩියෝ නැරඹිය හැකි ගැලරිය නව්‍යකරණයට බඳුන් වී ඇතත් තවමත් එහි අයිතමය Android 4.1 හි පැවති අයුරින් ම නොවෙනස්ව පවතී.




කැමරාව ක්‍රියාවට නැංවිය හැකි මෘදුකාංගයත් ඉතාමත්ම ප්‍රයෝජනවත් අන්දමින් වැඩි දියුණු කර ඇති අතර "slide-to-activate" අයුරේ මෙනුවක් දකුණු ඉහළ කෙළවරේ දැකීමට හැකිය.




ඊට අමතරව කැමරාවේ සහ කාලය දක්වන ඔරලෝසුවක් සහිත මෘදුකාංග වල අයිතම නව මුහුණුවරකින් නිර්මාණය කර ඇත.



පෙර නිල නොලත් පුවත් සහ වාර්තා වල සඳහන් වූ ආකාරයට Android 4.2 හි පුද්ගල ගිණුම් කිහිපයක් පවත්වාගෙන යාමට ඇති හැකියාව ද නිකුත් වී ඇති Android 4.2 හි තිර සටහන් මගින් තහවුරු වනු ඇත.

එසේ ම පෙරදී වාර්තා වූ තවත් නිල නොලත් ආරංචියක් වනුයේ Android 4.2 හි පවතින "Quick Settings" පැනලයක් පවතීයැයි කියූ දෙය. මෙය සත්‍යයක් බවට පත් කරමින් මේ මෙහෙයුම් පද්ධතියට එම අංගයත් එක් වී ඇති බව මෙම ඡායාරූප නිරීක්ෂණය කිරීමෙන් මනා සේ පැහැදිලි කර ගත හැකි වනු ඇත. මෙමගින් පරිශීලකයන්ට පහසුවෙන් ම පුද්ගල ගිණුම් අතර මාරු වීමටත්, තිරයේ ආලෝකයේ අඩු වැඩි කර ගැනීමටත්, Wi-Fi හා Bluetooth සබඳතාවත්, Airplane mode එක, ක්‍රියා කරවීමට සහ ක්‍රියා විරහිත කර ගැනීමටත්, තිරයේ හැරවීම හැසිරවීමටත් තනි ස්පර්ශයකින් කර ගැනීමට ඉඩ ප්‍රස්ථාවන් ලබා දී ඇත.

Nexus 10 වල පිට වූ විස්තර සහ රූප

අලුතෙන්ම වාර්තා වන Nexus පුවත වන්නේ Samsung සමාගම විසින් මෙවර නිපදවන Nexus 10 ටැබ්ලට් පරිගණකයේ රූප සහ විස්තර පිට වී තිබීමයි. පසුගිය ලිපියකින් පල කරන ලද සේවා අත් පොතක පල වූ සටහන් වල ඡායාරූප වලට සමාන අන්දමේ ම ටැබ්ලට්ටුවකුයි මේ නිකුත් වී ඇති රූප වලිනුත් පෙන්නුම් කරන්නේ. මෙය, පැතිරුණු කටකතා ඉවතලා ඇස් පනාපිට ම දැන් දැක ගැනීමට ලැබීමෙන් තව දින 2 කින් එළි දැක්වෙන Nexus උපාංග අතරේ නවතම සාමාජිකයා බැව් වැටහෙනවා ඇති.

මේ ටැබ්ලට් පරිගණකය Android 4.2 හෙවත් දැනට වාර්තා වන අන්දමට Jelly Bean හි ම සංස්කරණයකින් ක්‍රියා කෙරවෙන්නක්. එනම් Android හි 4.2 වැන්න key Lime Pie ලෙසින් නාමකරණය නොවන්නක් බැව් ලැබෙනා ආරංචි මාර්ග වලින් තහවුරු වෙමින් පවතිනවා. Android 4.2 හි "Settings" මෙනුවෙහි නව්‍යකරණයක් සිදු කර ඇති බව මේ වන විට දැක ගැනීමට හැකි වී තිබෙනවා. මීට අමතරව තවත් කිනම් අංගයන් වල වෙනස්කම් සිදු වී ඇත්දැයි තවමත් හෙළි වී නෑ. 

Nexus 10 ටැබ්ලට් පරිගණකයේ අභ්‍යන්තරයේ අන්තර්ගතැයි පැවසෙන මේත් සමගම පිට වන විස්තර සහිත අංගෝපාංග ලැයිස්තුවෙහි අන්තර්ගත වන දෑ මෙලෙසය. එනම් Samsung Exynos 5250 1.7 GHz, Dual Core Cortex-A15 ප්‍රොසෙසරයක්, වඩා හොඳ රූප හැසිරවීම් සහ දර්ශණ සඳහා Mali-T604 GPU එකක්, ගිගාබයිට් 2ක මතකයක්, ගිගාබයිට් 16ක අභ්‍යන්තර ගබඩා ධාරිතාවක්, පික්සල් විභේදනය 2560 x 1600 ක් වන අඟලකට පික්සල් 298.9 ක් පවතින අඟල් 10.1 ක Super AMOLED තිරයක්, LED සැණෙලියක් සහිත මෙගා පික්සල් 5ක පසුපස කැමරාවක්, ඉදිරිපස කැමරාවක්, NFC පහසුකම, Wi-Fi සම්බන්ධතාව, Bluetooth 4.0 පහසුකමත්, ඉදිර්පස ඇති speakers යුගලයකිනුත් මෙය හැඩ වනු ඇත.

සුපුරුදු පරිදි මෙම Nexus ටැබ්ලට්ටුවෙහි ද අභ්‍යන්තර ධාරිතාව වැඩි කර ගැනීමට Micro SD කාඩ් සවි කර ගැනීමට නොහැකි වන අන්දමිනුයි මෙය නිර්මාණය වන්නේ. මෙයට හේතුව විය හැක්කේ Google සමාගම තම Google Drive හරහා Nexus පරිශීලකයන් හට ඉඩ කඩ සලසා දීමත්, ඒ සඳහා ඔවුන්ව පෙළඹවීමත් විය හැකිය. 

එළැඹෙන සඳුදා දිනය, මේ ටැබ්ලට්ටුව ද Nexus සහෝදර කැල අතරට එකතු වන දිනයක් වනු ඇතැයි බොහෝ Android ලෝලීන්ගේ එකම බලාපොරොත්තුවයි.








Thursday, October 25, 2012

Nexus 10 ගැන අළුත්ම තොරතුරු

Nexus යනු මේ දිනවල වැඩිපුරම තාක්ෂණික ලෝකයේ භාවිතා වන වචනයක් කීවොත් නිවැරදිය. ඒ තරමට ම Nexus උපාංග දැන් දැන් ජනතාව අතරට යමින් පවතිනවා. ඒ මින් පෙර සිදු වූවාටත් වඩා වැඩි අයුරකින් සහ බොහෝ දෙනා තව තවත් ඒ උපාංග මිලදී ගැනීමට පොළොඹවමිනි. මේ පුවතත් Google සමාගම Samsung සමාගම සමග එකතුව නිපදවන Nexus 10 වන අඟල් 10ක තිරයක් සහිත ටැබ්ලට් පරිගණකය පිළිබඳව අන්තර්ජාලයෙන් වාර්තා වන කරුණු කිහිපයක්. 

Nexus 10 ටැබ්ලට් පරිගණකය වෙළඳ පොළට ඒමට වැඩි කාලයක් නැති තරම්. එමෙන්ම එනමින් සත්‍ය වශයෙන් ම උපාංගයක් Samsung සමාගම නිපදවනා බවත් නොසැඟවිය යුතු, තවත් කටකතාවක් නොවන වගේම මේ වන විට තහවුරු වී ඇති පුවතක්. අන්තර්ජාලයෙන් වාර්තා වන Nexus 10 පිළිබඳ අළුත් ම තොරතුර වන්නේ එහි සේවා සඳහන් වී ඇති අත් පොතක් එසේත් නැත්නම් "Service Manual" එකක් පිට වී තිබීමයි. එහි මෙම ටැබ්ලට්ටුව කිනම් හැඩයක් ගනීදැයි දළ රූප මගින් මුද්‍රණය වී තිබීම මේ පුවත තවත් පෝශණය කරන්නක්. මීට අදාළ ඡායාරූප පළ කර ඇත්තේ කොරියානු වෙබ් අඩවියක් විසිනි. 

ඡායාරූප වල පෙනෙනා අන්දමට මෙම ටැබ්ලට්ටුව කැමරා 2 කින් ද, Stereo speakers වලින් ද, notification පෙන්වීම සඳහා LED එකකින් ද, Micro USB විවරයකින් ද, 3.5mm ප්‍රමාණයේ headset එකක් සවි කර ගත හැකි වීම සඳහා ඉඩකින් ද සමන්විත වේ. Android 4.2 මෙහි අන්තර්ගත විය හැකි අතර ජවය සපයන්නට Exynos 5250 dual-core Cortex-A15 වර්ගයේ ප්‍රොසෙසරයක් යොදා ගනු ඇතැයි ඇතැමෙක් පවසයි. මෙහි අඟල් 10.1 ක හෝ 11.8 ක් වන තිරයේ පික්සල් විභේදනය 2560 × 1600 වනු ඇත. එනම් අඟලකට පික්සල් 299ක් ලෙසිනි. 

Nexus 10 ටැබ්ලට්ටුවෙහි සංකේත නාමය "MANTA" ලෙසින් හඳුන්වන අතර එය ගිගාබයිට් 16 සහ 32 ප්‍රමාණ වලින් පැමිණෙනු ඇත. එහි වර්ණය වනුයේ අඟුරු වල ඇති අළු පැහැ වර්ණයකි. Samsung සමාගම මෙම ටැබ්ලට්ටුව හඳුන්වනු ලබන්නේ "GT-P8110" ලෙසිනි. 

ආරංචි මාර්ග වලට අනුව මෙම ටැබ්ලට් පරිගණකය තව දින කිහිපයකින් එළැඹෙන ඔක්තෝබර් 29 වෙනිදාට යෙදෙන Google සමාගමේ විශේෂ සමුළුවේ දී එළි දැක්වීමට නියමිත Nexus උපාංග කිහිපයෙන් එකක් විය හැකිය.



Wednesday, October 24, 2012

Apple නැවතත් පැරදේ

Samsung සහ Apple සමාගම් දෙක අතර පවතින සීතල යුද්ධය දැන් දැන් උණුසුම් වෙමින් පවතී. පසුගිය දා Apple සමාගම Samsung සමාගමට එරෙහිව ඉදිරිපත් කළ නඩුවෙන් Apple සමාගමට පරාජය හිමි වූයේ Apple සමාගමෙහි පේටන්ට් බලපත්‍ර වල සඳහන් ශිල්පීය අංග Samsung සමාගම විසින් තම උපාංග වල යොදා ගන්නවා යැයි කළ චෝදනාව නිශ්ප්‍රභා වීම හේතුවෙනි.

අන්තර්ජාලයෙන් වාර්තා වන අන්දමට නැවතත් Apple සමාගම Samsung සමාගම හමුවේ පරාජයට පත් වී තිබෙනවා. ඒ නෙදර්ලන්තයේ අධිකරණයක් වෙත Samsung සමාගමට එරෙහිව Apple සමාගම විසින් ගොනු කරන ලද තවත් පේටන්ට් බලපත්‍ර උල්ලංඝණය කිරීමක් පිළිබඳව වූ නඩු විභාගයකිනි. මෙම පේටන්ට් බලපත්‍රය මගින් Apple සමාගමට පේටන්ට් අයිතිය හිමිව තිබුනේ තිරය ස්පර්ශ සංවේදීතාව නිර්මාණයේ එක්තරා තාක්ෂණික ක්‍රමවේදයක් පිළිබඳවයි. 

එය එසේ වුව ද මෙම පරාජයත් සමග Apple සමාගමට Samsung සමාගම වෙත යූරෝ 216,000 ක් ගෙවීමට සිදුව තිබෙනවා. තව ද පසුගිය දිනෙක Apple සමාගමට තම පේටන්ට් අයිතියක්ව තිබූ "Rubber band scroll" නම් වූ පේටන්ට් අයිතිය ද අහිමි වී ගියා.

LG Nexus වල තවත් පිටවූ ඡායාරූප


LG සමාගම මගින් Nexus දුරකතනයක් නිපදවා ඇති බව දැන් ඔබ 100%ක්ම තහවුරු කරගෙන හමාරය. එය තව දුරටත් අන්තර්ජාලයෙන් වාර්තා වන කටකතා ගොන්නට වැටෙන තවත් බලාපොරොත්තු තබා ගත යුතු සිහිනයක් නොවේ. නමුත් බලාපොරොත්තු තබා ගත යුත්තේ සතියකටත් අඩු කාලයක් ඇතුලත, එළැඹෙන 29 වන දා Google සමාගම අප ඉදිරියේ හෙළි කරන්න්නට යන්නා වූ ඒ රහස් සමුදාය පිළිබඳවයි. එය Android සහ Nexus උපාංග ලෝලීන්ගේ කුතුහලය වතුරේ නොයවන අවස්ථාවක් වේවි යැයි ප්‍රාර්ථනා කිරීම වැදගත්. මන්දයත් iPhone 5 එළි දැක්වීම බොහෝ iPhone භාවිතා කරන්නන් විශ්මයට පත් කරවූයේ සතුටුදායක ලෙසින් නොව අසතුටුදායක කෝණයකිනි. මෙය එවන් අවස්ථාවක් නොවනු ඇති. Nexus පවුලේ සාමාජිකයන් කිහිප දෙනෙක්ම Android 4.2 නවතම මෙහෙයුම් පද්ධතියෙන් හැඩ වී දොරට වඩිනා මේ විශේෂ අවස්ථාව සෑම දෙනාට ම සජීවීව දැක ගැනීමට http://www.youtube.com/Android සබැඳියෙන් දැක බලා ගැනීමට ලැබෙනු ඇත.

Nexus 4 ජංගම දුරකතනය පිළිබඳව කතා කිරීමේ දී වාර්තා වන අළුත්ම පුවත වන්නේ එම දුරකතනයේ ධාවනය වන Android 4.2 හි තිරය සහ පසුපස දිස්වන ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයේ විශ්වාසවන්ත පුවත් නිකුත් කරන්නෙකු විසින් මුදා හැර තිබීමයි. මුල දී අන්තර්ජාලයේ දකින්නට ලැබුණු දුරකතනයේ පිටුපස අවසාන නිකුත් කිරිමේ දී තිබිය හැකි යැයි සිතා Photoshop මෘදුකාංගය මගින් නිර්මාණය කරන ලද පිටුපස කවරයේ තිබූ වර්ණ 4 කින් යුතු X අකුරක් සහිත Nexus යන නාමය මෙම ඡායාරූප වල දී සම්පූර්ණ Nexus වචනය ම තනි වර්ණයක් වී තිබෙනවා. මේ තාක් නිකුත් වූ සියළුම Nexus උපාංග අතරින් පිටුපසෙහි Nexus ලෙසින් සටහන් කර ඇත්තේ Asus සමාගමේ Nexus 7 ටැබ්ලට් පරිගණකයේ පිටුපස පමණි. අනෙක් දුරකතන තුනෙහි ම පිටුපස ගූගල් සමාගමේ ලකුණ සටහන් වූවා.

තිරයේ දර්ශන සහිත ඡායාරූප මගින් පෙන්නුම් කරන්නේ Google Now හරහා ලබා දෙන තොරතුරු කාඩ්පත් හි Google Maps දිස්වන අයුරුත් පහළින් යම්කිසි ක්‍රීඩා තරඟ ලකුණුත් සහිත කාඩ්පතකි. Google Now මින් ඉදිරියට පැමිණෙන සියළුම Android අනුවාද වල අනිවාර්ය අංගයක් වනු ඇතැයි නිගමනයකට එළැඹිය හැකිය.

Nexus යන නාමය මගින් Google සමාගම උත්සාහ කරනුයේ තම Nexus උපාංග වැඩි දුරටත් පාරිභෝගිකයන් අතරේ ජනප්‍රිය කිරීමටයි. සමහර විටෙක උපාංග වල පසුපස බැටරි ආවරණයේ Nexus යන නාමය සටහන් කිරීම ද ඒ සඳහා ගන්නා ප්‍රයත්නයක් විය හැකිය. මේ කරුණු මෙසේ වුවත් වාර්තා වන පුවත් වලට අනුව මේ ඡායාරූප ද Photoshop මගින් වෙනස් කිරීම් වලට භාජනය වූවායි සැකයක් පැතිරෙමින් පවතී. තව දින 4 කින් මෙහි සත්‍ය තතු දැන ගැනීමට හැකි වනු ඇත.



Saturday, October 20, 2012

Android 4.2 වල තියෙන ජාති

ආරංචි මාර්ග වලින් දැන ගනීමට ලැබෙනා අලුත්ම පුවත වන්නේ මෙවර Google සමාගම මගින් නව Android මෙහෙයුම් පද්ධතියක් එළඹෙන 29 වැනිදා පවත්වන Google මාධ‍ය සමුළුවේදී එළි දැක්වීමට සිටිනා බවයි. මේ නව සංස්කරණය හැඳින්විය හැක්කේ බොහෝ විට Android 4.2 Key Lime Pie යනුවෙනි. Android මෙහෙයුම් පද්ධතියේ නාමකරන රීතීන්ට අනුව මීළඟ දිග හැරුමේ නාමය ආරම්භ විය යුත්තේ ඉංග්‍රීසි හෝඩියේ "K" අකුරෙනි. එබැවින් මෙය එනමින් නාමකරණය විය හැකිය. අප තවමත් නොදන්නා කාරණාව නම් මෙය Jelly Bean හි ම වැඩි දියුණු කරන ලද්දක් ද, නැතිනම් අළුත්ම මුහුණුවරකින් පැමිණෙන්නක් ද කියායි. කෙසේ නමුත් මෙහි පැවතිය හැකි අංග පිළිබඳව සොයා බැලීම වැදගත් වේ. 

Google සමාගමේ "Roadrunner" ව්‍යාපෘතිය මෙහි අන්තර්ගත වේ යැයි බොහෝ දෙනා අනුමාන කරන්නක්. මෙම ව්‍යාපෘතියේ අරමුණ නම් මෘදුකාංග සංවර්ධකයින් හට සියළුම Android උපාංග වල ක්‍රියාකාරීත්වය සහ බැටරි කාලය ඉහළ නැංවීමට ඉඩ සලසවන්නක්. පෙරදී Android වෙනුවෙන් එකතු වුනු "Butter" ව්‍යාපෘතිය මගින් මෙහෙයුම් පද්ධතියට සුමට බවක් ගෙන දීමට සමත් වූවා මෙන්ම එය ඉතාමත්ම සාර්ථක කර ගැනීමට Google සමාගමට හැකියාව ලැබුනා. මෙම "Roadrunner" ව්‍යාපෘතිය ද එවැනිම සාර්ථකත්වයක් ලබනු ඇතැයි සිතිය හැක. 

මෙම නවතම ව්‍යාපෘතියට අමතරව Android 4.2 හි ඇතුලත් විය හැකි යැකි පැවසෙන අනෙක් අංගය වන්නේ "Quick Settings" යන්නයි. දැනටමත් සමහර Android මත ක්‍රියා කරනා දුරකතන වල ඇති මෙම අංගය මගින් Android ජංගම දුරකතන හසුරවන්නන්ට පහසුවෙන් ම, තනි පියවරකින් ම හෝ ස්පර්ශයකින් ම දුරකතනයේ Wi-Fi, Bluetooth හා GPS සබඳතා ක්‍රියා කරවීමට සහ ක්‍රියා විරහිත කිරීමටත්, ශබ්ධය පාලනය කිරීමටත්, තිරයේ හැරවීම පාලනයටත් හැකියාව ලැබෙනු ඇත. මෙම අංගය පැමිණෙනු ඇත්තේ දුරකතන තිරයේ ඉහලින් දිස්වන පහලට ඇදිය හැකි "Notification" පැනලයේ ඉහළින් ය. තවත් සමහරු කියනා අන්දමට මෙය එසේ පහළට අදිනා දෙවැනි පැනලයක් තුල වුව ද අඩංගු විය හැකිය. 

තව ද Android 4.2 වල සුරක්ශිතතාව ඉහළ නැංවීම වෙනුවෙන් "SELinux", "VPN Lockdown" සහ "SMS Confirmation" යන ආරක්ෂිත විධික්‍රම ස්ථාපනය වනු ඇති. තව ද පෙර ලිපියක සඳහන් කළ පරිදි Gmail 4.2 ද මේ සමග පැමිණෙනු ඇති. එමගින් Gmail භාවිතා කරන්නන්ට ඊමේල් පහසුවෙන් ඉවත් කිරීම, ගබඩා කිරිම හා සම්බන්ධ අලුට්වැඩියාවන් මෙන්ම ඊමේල් විශාල කර බැලීමේ හැකියාව ද අන්තර්ගත වනු ඇත. මීට අමතරව ප්‍රධාන තිරයේ ඇති අයිතම අලුත් ම පෙනුමකින් ද පැමිණෙනු ඇති අතර රූප වීඩියෝ සියල්ලට පිවිසිය හැකි Gallery ද සම්පූර්ණයෙන් ම වෙනස් නව මුහුණුවරකින් පැමිණෙනු ඇත. 

මේ අංග පිළිබඳව අන්තර්ජාලයේ විවිධ වෙබ් අඩවි විවිධ මත පළ කරනා හෙයින් මේ කියූ ඒවා පිළිබඳව 100% කම විශ්වාසය තබා ගැනීමට නොහැක. එබැවින් මේ කරුණු වල සත්‍යාසත්‍යතාව දැන ගැනීමට ඔක්තෝබර් 29 වැනි දා වන තෙක් සිටීමට සිදු වනු ඇත.

ASUS සමාගමෙන් සුපිරිතම Padfone 2

සුපිරි ගණයේ ජංගම දුරකතනයක් සහ අමුතුම ආකාරයේ ටැබ්ලට් උපාංගයක් පසුගියදා ASUS සමාගම මගින් එළි දක්වනු ලැබුවා. ඒ ASUS හි Padfone ජංගම දුරකතනයේ දෙවැන්න වන Padfone 2 ය. මෙහි ඇති විශේෂත්වය නම් පෙර නිෂ්පාදනයට වඩා මෙහි කර ඇති වැඩි දියුණු කිරීම් මගින් Quad Core ප්‍රොසෙසරයක් සහිත, LTE සබඳතාව ලබා ගත හැකි දුරකතනයක් සහ ප්‍රතිනිර්මාණය කරන ලද ටැබ්ලට් පරිගණකයක් වීම. මෙම Padfone හි ඇති විශේෂත්වය නම් එම දුරකතනය එහිම අනෙක් උපාංගය වන ටැබ්ලට්ටුව තුලට බහාලීමට හැකි වීමත් එමගින් ටැබ්ලට්ටුව ක්‍රියා කරවීමට හැකි වීමත් ය.


Android 4.1 වලට යාවත්කාලීන කර ගත හැකි Android 4 ධාවනය වන මෙම ජංගම දුරකතනය අඟල් 4.7 කින් යුතු පික්සල් ප්‍රමාණය 1280 x 720 වන HD මට්ටමේ Super IPS+ තිරයක් සහිත වූවක්. 1.5 GHz වන Quad Core Snapdragon S4 Pro ප්‍රොසෙසරයකින් ජව ගැන්වෙන මෙය ගිගා බයිට් 16, 32 සහ 64 ප්‍රමාණයන්ගෙන් ලබා ගත හැකි අතර මතක ධාරිතාව ගිගා බයිට් 2ක් වේ. මෙගා පික්සල් 13ක ප්‍රධාන කැමරාවකින් සහ මෙගා පික්සල් 1.2 ක ඉදිරිපස කැමරාවකින් හැඩ ගැන්වෙන මෙම දුරකතනය NFC, Wi-Fi, Bluetooth 4.0 තාක්ෂණයන් ඇතුලත්ව ග්‍රෑම් 135ක බරකින් යුතුව ද, 2140 mAh වන බැටරියකින් බලය ලබමින් පැමිනෙන්නක්.

මෙම ටැබ්ලට්ටුවේ ඇති විශේෂාංග නම් අඟල් 10.1ක් වන, පික්සල් ප්‍රමාණය 1280 x 800 ක් වන තිරයක් පැවතීම, 5000 mAh බැටරියකින් බලය සැපයීම සහ ග්‍රෑම් 649 ක් වීමය. මෙහි ප්‍රොසෙසරයක් හෝ අභ්‍යන්තර ධාරිතාවක් නැත්තේ ඒ සියල්ල එයට හිමි වන්නේ දුරකතනය එය තුලට බහාලූ විට දී වීමයි. මෙහි ඇති එකම කණගාටුවට කරුණ නම් එය Android 4 සමග නිකුත් කිරීමයි.

දෙසැම්බරයේ අග භාගය වීමට මත්තෙන් මේ ද්විත්වය යුරෝපයේ සහ ආසියාවේ රටවල් කිහිපයක් වෙනුවෙන් නිකුත් කරනු ඇති. එමෙන්ම අනෙකුත් රටවල් සඳහා නිකුතුවන් පසුව දැනුම් දෙනු ලැබේ.


Galaxy Nexus හා Nexus S වලට Android 4.1.2

Google Nexus 7 වෙනුවෙන් පසුගියදා නිකුත් කරනු ලැබූ Jelly Bean හි තිබූ දෝශ මග හරවා සෑදූ සංස්කරණය දැන් දැන් එම ටැබ්ලට් පරිගණක සඳහා ලැබෙමින් පවතිනවා. එමෙන්ම එම යාවත්කාලීනය ම එනම් Android 4.1.2 Nexus 7 ටැබ්ලට් වලට අමතරව Nexus S සහ Nexus ජංගම දුරකතන වලටත් පසුගිය සඳුදා සිට ලැබීමට සලස්වා තිබෙනවා. 

මේ Nexus දුරකතන වෙනුවෙන් ලැබෙනා යාවත්කාලිනයේ විශාලත්වය මෙගා බයිට් 15.1 ක් පමණ වන අතර GSM සහ HSPA ජාල වලට සම්බන්ධ විය හැකි ඉහත සඳහන් කළ Nexus දුරකතන මාදිලි දෙක සඳහා ලැබෙනු ඇත. දුරකතන සඳහා නිකුත් වන මෙම යාවත්කාලීනය මගින් දුරකතනයේ ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කරනා, ස්ථාවරත්වයක් ද ඇති කරවන්නක් බවත්, Nexus 7 සඳහා එම ටැබ්ලට්ටුව හරස් අතට හැරවූ විට තිරය ද නොහැරවීමේ ගැටළුවට ලද විසඳුම දුරකතන වලට නොලැබෙන බවත් අන්තර්ජාලයෙන් තව දුරටත් වාර්තා වනවා.

Friday, October 19, 2012

ඔක්තෝබර් 29 වනදාට Google

Google සමාගම පසුගියදා අමුතුම ආකාරයේ ඇරයුමක් සිදු කර තිබෙනවා. ඒ Android සම්බන්ධ කටයුත්තක් මේ මස එනම් ඔක්තෝබර් 29 වනදාට ඔවුන් විසින් ඇමෙරිකාවේ නිව්යෝක් නගරයේ දී පැවැත්වීමට නියමිත බවයි. මෙම ඇරයුමේ තේමාව වන්නේ "The playground is open" යන්නයි. එනම් සෙල්ලම් පිටිය විවෘතයි යන අදහස ගෙන දෙන්නක්. ඇත්තෙන් ම මේ කියන්නේ කුමක්ද? Google Play Store පිළිබඳව ද? එසේත් නැත්නම් එදිනට නිකුත් කෙරෙතැයි සිතන Android මෙහෙයුම් පද්ධතියේ නව සංස්කරණය විය හැකි Key Lime Pie පිළිබඳව ද? එසේත් නැත්නම් නව Nexus දුරකතන Google Play Store හරහා මිල දී ගැනීමේ හැකියාවක් පිළිබඳව ද? මේ සියල්ල ම තවත් කුතුහලය ඇතිකරවන්නක්. කෙසේ නමුත් ඔක්තෝබර් 29 වනදාට Google සමාගම සංවිධානය කරන මේ සමුළුව හෝ උත්සවය YouTube හරහා සජීවිව ‍http://www.youtube.com/Android යන සබැඳියට යාමෙන් ලෝකවාසී සියල්ලන්ට ම දැක ගැනීමට ඉඩ ප්‍රස්ථාව උදා වනු ඇත.

මේ පුවතත් සමග හෙළි වන තවත් කරුණක් තිබෙනවා. එනම් Galaxy Nexus සඳහා වූ Google Plus සමාජ ජාල පිටුවෙහි පළ වූ දෙයක් පිළිබඳවයි. එනම් ඔක්තෝබර් 19 වැනිදාට Galaxy Nexus දුරකතනයට වසරක් සැපිරීම උදෙසා පල වුනු උපන් දින සුභ පැතුමකි. එහි සඳහන් වන්නේ මෙලෙසිනි.

"October 29th. The game is on ladies and gentlemen. 
Happy birthday +Galaxy Nexus, you were born one year ago, on October 19th. Soon you are going to meet your younger brother(s) ;)"

"ඔක්තෝබර් 29 වැනිදාට සියල්ල සූදානම් මහත්ම මහත්මියනි. 
වසරකට ඉහත දී ඔක්තෝබර් 19 වැනි දා උපත ලද Galaxy Nexus ට සුභ උපන් දිනයක් වේවා. ලඟදීම ඔබට ඔබේ සොයුරන් මුණ ගැසීමට ලැබේවි" යනු එහි සරල අදහසයි.

මෙය හුදෙක්ම උපන් දින සුභ පැතුමක ස්වරූපය ගන්නා කියමනක් නොවෙන බව බැලූ බැල්මට හඳුනා ගන්නට අපහසු වේවි. නමුත් හොඳින් කියවා බැලීමේ දී මෙයින් ද Android සහ Nexus දුරකතන ලෝලීන් සඳහා කුතුහලය දනවන කරුණක් අනාවරණය කර ගැනීමට හැකි වනු ඇත. එනම් Galaxy Nexus දුරකතනයට ලඟදීම තම සොයුරන් මුණ ගැසීමට හැකි වන බවයි. මෙහි "සොයුරන්" ලෙසින් සඳහන් කිරීමෙන් පෙනී යන්නේ මෙවර Google සමාගම Nexus දුරකතන එකක් නොව කිහිපයක් ම එළි දැක්විය හැකි බවට හෝඩුවාවකි. මෙය තවමත් සාධාරණ නිගමනයක් නොවන්නේ Google සමාගම සතුව මෙම අවස්ථාව පිළිබඳව සියළු රහස් ආරක්ෂිතව, හෙළි නොකර පවතින හෙයිණි. 

මේ සියළු කුතුහලයන් සන්සිඳවන ඒ මොහොත තව සතියකින් අත් දැකීමට සියල්ලන්ටම හැකි වනු ඇත.


Apple ට අන්ත පරාජයක්

මෑතකදී Apple සමාගම විසින් තම පේටන්ට් අයිතීන් භාවිතා කිරීම වෙනුවෙන් Samsung සමාගමට විරුද්ධව ගොනු කළ නඩුවෙන් Apple සමාගම පරාජයට පත් වී තිබෙනවා. ඒ වගේම Apple සමාගම වෙනත් උසාවි තීරණයක් පිළිබඳවත් කළ අභියාචනයක් ලන්ඩන් හි උසාවියක් මගින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Apple හා සසඳද්දී Apple උපාංග වල ඇති සරල බව නිසාම Samsung සමාගමේ උපාංග එතරම් මට්ටමක නොපවතින බව එහි දී විනිශ්චයකාරවරයා විසින් පවසා ඇතත් Samsung සමාගම Apple හි නිර්මාණ අංග කොපි නොකරනා බව ද සඳහන් කර තිබෙනවා.

සත්‍ය වශයෙන්ම වාර්තා වන උසාවි නියෝගයට අනුව Apple සමාගමට ඇමරිකාවේ ප්‍රධාන පෙළේ පුවත් පත් හා සඟරා කීපයකත්, තම වෙබ් අඩවියේත් දැන්වීම් ප්‍රචාරය කිරීමට සිදුව ඇති අතර ඒ මන්දයත් Samsung සමාගම Apple හි නිර්මාණ කොපි කරනා බවට ගෙන ගිය වැරදි කියමන නිවැරදි කිරීම සඳහායි.

Apple වෙබ් අඩවියේ පළමු පිටුවෙහි Samsung සමාගම වෙනුවෙන් විශාල දැන්වීමක් පළ නොකෙරුණ ද එය වෙනුවෙන් “Samsung/Apple Judgement.” යනුවෙන් සබැඳියක් අඩවියේ පළ කෙරෙනු ඇත. Samsung සමාගම ඉල්ලා සිටින්නේ එසේ පළ කෙරෙනා සබැඳිය මාසයක්වත් Apple සමාගමේ වෙබ් අඩවියේ මුල් පිටුවෙහි තැබිය යුතු බවයි.

Wednesday, October 17, 2012

HTC සමනලයා ජපානයට පියඹා යයි

ලෝකයේ දැනට නිපදවා ඇති එකම අඟල් 5 ක 1080p Full HD තිරයක් සහිත Android ස්මාර්ට් ජංගම දුරකතනය වන HTC සමාගම විසින් නිපදවන ලද HTC J Butterfly දැන් ජපානයට පියඹා ගොස් හමාරය. මෙවන් දුරකතනයක් පිළිබඳව විවිධ දුරකතන ජාල සමාගම් විසින් නිකුත් කළ කටකතාවන් පැතිර ගියත් එය මුලින්ම ලබන්නට ජපානයේ වැසියන්ට දැන් අවස්ථාව උදා වී තිබෙනවා. ශ්‍රී ලාංකිකයන්ට මෙමගින් ඇති ප්‍රයෝජනයක් නැති වුවත් තාක්ෂණයේ සුන්දරත්වය මෙමගින් ද දැකීමට හැකි වීම වටිනා කරුණක් ලෙස සැලකිය හැකිය. 

මෙම නවතම ජංගම දුරකතනයේ ඉතා සුවිශේෂී අංග රැසක්ම අන්තර්ගත කිරීමට HTC සමාගම වග බලාගෙන තිබෙනවා. මෙය අඟල් 5කින් සමන්විත වන Full HD මට්ටමේ පවතින එනම් 1080p වන ප්‍රථම වතාවට හඳුන්වා දෙන Super LCD 3 වර්ගයේ තිරයකින් වර්ණවත් වෙන්නක්. වේගය 1.5GHz වන Quad Core Qualcomm Snapdragon S4 processor (MDM9615 + APQ8064) ප්‍රොසෙසරයකින් ජව සම්පන්න වෙන මෙහි තාවකාලික මතක හැකියාව හෙවත් RAM ධාරිතාව ගිගා බයිට් 2ක් වන අතර අභ්‍යන්තර ගබඩා ධාරිතාව ගිගා බයිට් 16ක් වනවා. ඊට අමතරව Micro SD කාඩ් ඇතුලත් කර ගැනීමේ හැකියාවත් පවතින මෙයට එමගින් තවත් ගිගා බයිට් 32ක් එකතු කර ගැනීමට හැකි වේ. මෙවන් සුපිරි ගණයේ දුරකතනයක් පිළිබඳව වුවත් සිත් රිදවන එකදු අංගයක් හෝ පැවතීමත් කණගාටුවට හේතුවක්. එනම් මෙහි බැටරි ධාරිතාව 2020mAh වීමයි. 

තවද මෙහි ඇත්තේ Android 4.1 Jelly Bean මෙහෙයුම් පද්ධතිය වන අතර අතුරු මුහුණත හැඩ වී ඇත්තේ HTC සමාගමේ ම Sense 4+ යන්නෙන්. මෙගා පික්සල් 8 කින් යුතු පසුපස කැමරාවක් ද, මෙගා පික්සල් 2.1ක් වන ඉදිරිපස කැමරාවක් ද අඩංගු මෙහි හඬ ජවය ලබා දෙන්නේ Beats Audio මගිනි. Wi-Fi, LTE සබඳතා ඇති මෙහි Bluetooth 4 සහ NFC හැකියාව ද ඇත. මෙහි බර ග්‍රෑම් 140ක් වන අතර ඝනකම මිලිමීටර 9.1ක් පමණ වේ. 

මේ අංග මෙසේ වුව ද HTC සමාගම මෙම දුරකතනය ජපානයෙන් පිටත වෙළඳ පොළට නිකුත් නොකරනු ලැබෙන බව සඳහන් කර ඇති නමුත් මෙහි ඇති අඟල් 5ක 1080p LCD 3 තිරය මින් ඉදිරියට, එනම් නුදුරු අනාගතයේ දී කරළියට පැමිණෙන HTC DLX වැනි දුරකතන වල අන්තර්ගත වනු ඇති බව තව දුරටත් සඳහන් කරනවා. කෙසේ නමුත් HTC One X+ හි පවතින 720p වන තිරය මෙහි පවතින දැවැන්ත තිරය මගින් පහලට හෙළනු නොඅනුමානය. 


Google ගෙන් $99 ට Nexus ටැබ්ලට් එකක්

අන්තර්ජාලයෙන් වාර්තා වන අළුත්ම පුවත් අතරට එකතු වුන මේ පුවතත් Android ලෝලීන්ට සුභාරංචියක් වෙන්නට ද පුළුවන්. ඒ මන්දයත් Google සමාගම Asus සමාගම සමග එකතු වී මේ වසර අග වන විට තවත් Nexus ටැබ්ලට් පරිගණකයක් නිමවා මුදා හැරීමට යාමයි. Single Core ප්‍රොසෙසරයක් මෙහි අන්තර්ගත වේ යැයි ද එම පුවත් වල සඳහන්. නමුත් මේ සියල්ලක් ම තවමත් 100% ක්ම නිරවධ්‍ය නොවන බවත් පැවසිය යුතුයි. ඒ මන්දයත් මේ දිනවල බොහෝ සේ පවතින ජංගම උපාංග තරඟයත් සමගම මතු වෙන කටකතා ප්‍රමාණයද වැඩි වීමයි.


වාර්තා වන කරුණු වලට අනුව මෙම නව Nexus ටැබ්ලට්ටුවේ සියළු උපාංග එකළස් කරනු ලබන්නේ Qanta නැමැති ආයතනයක් මගිනි. ඒ සඳහා ඇර්‍M ප්‍රොසෙසර WonderMedia යන සමාගමක් විසින් සපයනු ලැබන අතර, තිර සැපයුම කරනු ලබන්නේ HannStar නැමැති සමාගමකි.

කෙසේ නමුත් Nexus 7 ටැබ්ලට්ටුවට තරඟයක් දීමට පැමිනෙතැයි හැඟවෙන Apple හි ඩොලර් 250 ක් පමණ වන iPad Mini ටැබ්ලට්ටුවත්, Amazon සමාගමේ Kindle Fire වැනි තරඟකාරීන් සමග සැප්පීමට තවත් තරඟකරුවෙක්ගේ පැමිණීම පවතින සීත යුධයන්ට රුකුලක් ද සපයනු ඇත.

Monday, October 15, 2012

Sony සමාගමෙනුත් Nexus එකක්?

හදිසියේම Nexus උණුසුමට එකතු වුනු මේ ආරංචිය තවත් Nexus නිශ්පාදකයෙක් පිළිබඳවයි. නමුත් මේ තොරතුර තවමත් සත්‍ය ද අසත්‍ය දැයි වාර්තා වන්නේ නෑ. මීට ප්‍රධානතම හේතුව නම් අන්තර්ජාලයට පිට වී ඇති Sony සමාගමෙන් නිපදවා ඇතැයි අනුමාන කරනා Nexus දුරකතනයක ඡායාරූප පිට වී තිබීමයි.

එම රූප වල දිස්වෙන ආකාරයට මෙහි පිටුපස Google සමාගමේ ලාංඡනය ද ඇතුලත්. අන්තර්ජාලයෙන් වර්තා වෙන මෙම Sony සමාගම නිපදවා ඇතැයි සැක පහළ කරන Nexus දුරකතනය හඳුන්වන්නේ Sony Nexus X ලෙසිනි. මෙම නෙක්සස් X යන නාමය පැමිණියේ කෙසේ දැයි තවමත් නිගමණය කිරීමට නොහැක. නමුත් මෙහි හෙළි නොවූ අර්ථය Sony Xperia Nexus ද විය හැකිය.

මේ ඡායාරූප අන්තර්ජාලයට මුදා හැර තිබෙන්නේ Mutul Yeter නැමැත්තෙක්. මේවායේ දක්නට ලැබෙන පරිදි මෙම දුරකතනය අනෙක් Sony දුරකතන වල හැඩයට බෙහෙවින් සමානතාවක් ද දක්වයි. මෙහි තිරය මත තිරයෙන් දර්ශණය කරනා බොත්තම් පමණක් දැකිය හැකිය. එමෙන්ම නියම Android ධාවනය වනුත් දැකිය හැකිය.

මීට පෙරදී අසන්නට ලැඹුණු පරිදි Sony, Samsung, LG ආයතන Nexus දුරකතන නිපදවතැයි කියනා කටකතාවෙහි උණුසුම වැඩි කරවන මේ පුවත මගින් Nexus දුරකතන ද්විත්වයක් දැනටම නිපදවී හමාර දැයි සැකයක් ද හිතට පහළ කරවන්නක්.

මේ පුවත සහ පිටවී ඇති රූප පිළිබඳව අන්තර්ජාලයෙන් වාර්තා වන තවත් විශේෂ කරුණක් වේ. එනම් මේ ඡායාරූප Photoshop හරහා වෙනස් කිරීමකට භාජනය කරන ලද ඒවා බවයි. මීට හේතුව මේ රූප විශාලනය කර බැලීමේදී දුරකතනය පිටුපස ඇති Google සමාගමේ ලාංඡනය වටා සුදුමැලි ගතියක් පැවතීමයි. මේ බව පවසන්නේ Photoshop පිළිබඳව විශේෂඥ දැනුමක් පවතින Clark නැමැත්තෙකි. එබැවින් ඔහු මෙම ඡායාරූප නිරීක්ෂණයෙන් අනතුරුව පවසන්නේ මේවා පරිගණකයක් මගින් සෑදූවක් බවය.

මෙවර දී Nexus දුරකතන කීපයක් ම කරළියට පැමිණෙතැයි පහළ කරන සැකය මෙමගින් පහ වේ ද නැත් ද යන්න පිළිබඳව ඉදිරි දින කිහිපය තුලත් Android සම්බන්ධ පුවත් කෙරෙහි අවධානයෙන් සිටීමෙන් දැන ගත හැකි වනු ඇත.



Sunday, October 14, 2012

Gmail 4.2 ලඟදීම

Google සමාගමේ Android සඳහා වන Gmail මෘදුකාංගයේ විකශණයේ මීලඟ අවධිය දැන් උදා වී තිබෙනවා. මෙය ඔබට දැක ගැනීමට ළැබෙන්නේ Gmail මෘදුකාංගයේ මීළඟ එළි දැක්වීමෙදීයි. එය ලඟදීම ලබා ගැනීමට ලැබෙනු ඇත. ආරංචි මාර්ග වලට අනුව Android සඳහා වූ මෙම Gmail මෘදුකාංගය එහි 4.2 වන සංස්කරණය වන අතර බොහෝ දෙනාට බෙහෙවින් අත්‍යාවශ්‍ය වන අංගෝපාංග කීපයක්ම මෙහි අන්තර්ගත වී ඇති බවත් වාර්තා වෙනවා.

අඟිලි 2ක් මගින් ඉවතට සහ වෙතට ඇදීම මගින් විශාලනය කිරීම සහ කුඩා කිරීමේ (pinch-to-zoom) හැකියාව මෙහි අන්තර්ගත වේ. තවද Android 4.0 ICS සමග පැමිණි notifications වල ඇති පරිදිම මෙම Gmail මෘදුකාංගය ඔස්සේත් ඊමේල් පෙළ පෙන්වන අවස්ථාවේ දී ඉන් එකින් එක තමාගේ අභිමතය පරිදි ඇඟිල්ලකින් එක් පසකට ඇදීම මගින් Delete කිරීමට හෝ Archive කිරීමට හැකිය. මෙය තමා මෘදුකාංගය තුල සිටින්නේ කිනම් තිරය තුලද යන්න මත විවිධ ආකාර ගනී. එය ද තමාගේ කැමැත්ත පරිදි Options/Settings හරහා වෙනස් කර ගත හැකිය. උදාහරණයක් වශයෙන් තමා සිටින්නේ තමාට පැමිණි ලිපි සහිත තිරයේ (Inbox) නම් මෙම ඇදීමක් මගින් ලිපියක් Archive කළ ලැයිස්තුවට යොමු කළ හැකි අතර සියළු ලිපි (All Mails) පෙන්වන හෝ යැවූ ලිපි (Sent Mails) පෙන්වන තිරයේ නම් සිටින්නේ මෙසේ ඇදීමකින් ලිපියක් Delete කිරීමටත්, ලේබල් සඳහා වන තිරයක (Label View) නම් ලේබල් Delete කිරීමටත් හැකියාව ලැබෙනු ඇත.

මෙහි ඔබට ලබෙන අවසාන විශේෂාංගය වන්නේ යම් ඊමේල් ලිපියක් හෝ පණිවිඩයක් හෝ phishing කිරීමක් වෙනුවෙන් Gmail වෙත වාර්තා කළ හැකි වීම තුලින් spammers ලාගෙන් ආරක්ශා විය හැකි වීම.





LG Nexus ටත් Wireless Charging

ලැබෙන ආරංචි මාර්ග අනුව LG Nexus දුරකතනය ඔක්තෝබර් අගදී එළි දැක්වීමට නියමිතය. නමුත් තවමත් පිට වී ඇත්තේ මූලාකෘතියක් වන Nexus දුරකතනයක් පමණි. මෙමගින් පමණක් අවසාන Nexus දුරකතනය කෙසේ වේදැයි නිශ්චිත නිගමනයකට පැමිණිය නොහැක. එහි ඇති අංග යම් තාක් දුරකට වෙනස් වීමට ද පිළිවන.

එනමුත් දැනට පිටවී ඇති මෙම Nexus දුරකතනයේ මූලාකෘති මට්ටමේ උපකරණයේ පිටුපස සඳහන් වී ඇති මොඩල් අංකය හෙවත් FCC ID එක හරහා සොයා බලන ලද කරුණු අනුව මෙතෙක් අනාවරණය නොවූ තොරතුරක් දැන ගන්නට ලැබී ඇත. එනම් මෙම දුරකතනයට රැහැන් රහිතව තම අභ්‍යන්තර බැටරිය ආරොපණය කර ගැනීමේ හැකියාවක් (wireless charging) පවතින ජංගම දුරකතනයක් බවයි. මෙහි පසුපස විවර කළ නොහැකි කවරය පිළිබඳව ද එම තොරතුරු වල සඳහන් වන්නේ රැහැන් රහිත බැටරි ආරෝපණ හැකියාව සහ NFC තාක්ෂණික උපාංග ද ඇතුලත් පසුපස කවරයක් ලෙසයි. කෙසේ නමුත් මෙම නව විශේෂාංගය වෙන ම පෑඩයක් මත දුරකතනය තබා ආරෝපණය කර ගත හැක්කක් ද එසේත් නැති නම් දුරකතනය තවත් උපාංගයක් මත රැඳවා ආරෝපණය කර ගත හැක්කක් ද කියා තවමත් හෙළි වී නොමැත.

තවත් දින 15 කින් එළැඹෙන ඔක්තෝබර් 29 වැනි දා මේ පිළිබඳව සියළුම විස්තර දැන ගැනීමට ලැබෙතැයි අපි බලාපොරොත්තු වෙමු.





Saturday, October 13, 2012

LG Nexus 4 හි මිල

කටකතාවක් ව පැවත දැනට සත්‍ය වී ඇති LG සමාගම විසින් නිෂ්පාදනය කරනා Nexus 4 දුරකතනයේ මිල කෙසේ විය හැකිද? දුරකතනය කෙසේ නිම වෙතත් එය පාරිභෝගිකයන් කරා ලඟා කරවීම සඳහා බලපාන ඉහළ ම සාධකය වන්නේ එහි මිලයි. මේ නව ජංගම දුරකතනයේ මිල ගණන් පිළිබඳවද අන්තර්ජාලයේ කටකතා පැතිර යන්නේ ද පෙරසේ ම වීම පුදුමයට කරුණක් නොවේ. මන්දයත් Nexus ලෝලීන් මෙය ලබා ගැනීමට බෙහෙවින් උනන්දුවෙන් පසු වීමයි.

ඔක්තෝබර් 29 වනදා එළි දැක්වෙතැයි සිතනා LG Nexus 4 දුරකතනයේ අභ්‍යන්තර ධාරිතාව ගිගා බයිට් 8ක් වන දුරකතනය ඩොලර් 399ක් විය හැකි බව අන්තර්ජාලයේ විවිධ මාර්ග ඔස්සේ දැන ගන්නට ලැබෙනවා. Google සමාගම මෙහි ගිගා බයිට් 16ක් වන දුරකතනයකුත් නිකුත් කරාවි යනු බොහෝ දෙනාගේ බලාපොරොත්තුවයි. මන්ද යත් දැනටමත් පවතින Samsung Galaxy Nexus දුරකතනය ගිගා බයිට් 16ක ධාරිතාවකින් පවතින්නක්. එබැවින් මෙම නව දුරකතනය ඊටත් වඩා අඩු වීම පිළිබඳව ජංගම දුරකතන පරිශීලකයින් පසුවන්නේ දැඩි කණස්සල්ලකින්. ඔවුන් එසේ අභ්‍යන්තර ගබඩා ධාරිතාව ගිගා බයිට් 16ක් වන දුරකතනයක් ද නිකුත් කළහොත් එය බොහෝ විට ඩොලර් 449ක් පමණ විය හැකි බවයි බොහෝ දෙනාගේ මතය.

දැනට පවතින Galaxy Nexus දුරකතනය ඩොලර් 349 කට Play Store හරහා මිලදී ගත හැකි නමුත් එහි අන්තර්ගත දෘඪාංග වර්තමානයේ පවතින දුරකතන නිර්මාණකරන තාක්ෂණ සමග බලද්දී යල් පණිමින් පවතින බවත් සඳහන් කළ යුතුයි. එබැවින් ඊට වඩා වැඩියෙන් ඩොලර් 50ක් හෝ වියදම් කිරීමෙන් දැනට පවතින හොඳම දුරකතන ප්‍රොසෙසරයක් වන Snapdragon S4 Pro ද, හොඳම තිරයක් වන True HD IPS+ ද, වැඩි දියුණු කළ කැමරාවක් ද, නව තාක්ෂණයකින් යුතු බැටරියක් ද ඇතුළුව අළුත්ම Android අනුවාදයක් ද ලබා ගත හැකි වේවි. 

බොහෝ දෙනා මෙහි අභ්‍යන්තර ගබඩා ධාරිතාවේ මදිකම පිළිබඳව කණස්සල්ලෙන් පසු වුවත් දැනට පවතින හොඳම Nexus දුරකතනය මෙය වන බව ද විශ්වාස කලාට වරදක් නොමැත. එබැවින් ඩොලර් 399 කට ඔබත් LG Nexus 4 දුරකතනයක් මිලදී ගන්න සිතනවා ද?


Microsoft වලින් Android ට Office

Android පරිශීලකයින්ට මෙන්ම iOS පරිශීලකයින්ටත් තිබුනු ගැටළුවක් තමයි හරි හැටි තමන්ගේ ලියකියවිලි වල වැඩ කටයුතු සිදු කර ගැනීමට ඒ ඒ මෙහෙයුම් පද්ධති වල නියමාකාර මෘදුකාංගයක් ඇතුලත් නොවීම සහ අදාල Application සපයන Google Play Store සහ Apple App Store හරහා ද එවන් Applications ලබා ගැනීමට තිබූ අපහසුව. මේ සියළු අපහසුතාවන් මග හැරවෙන සුභ ආරංචියක් ජංගම දුරකතන පාවිච්චි කරන සියළු දෙනාටම දැන් ලැබී තිබෙනවා. 


ලබන වසරේ මාර්තු වන විට මේ සුභාරංචිය තහවුරු වන බවකුයි දැනට පෙනෙන්නට තියෙන්නේ. එනම් Microsoft සමාගම මගින් ජංගම දුරකතන සඳහා තම Office මෘදුකාංගය ලබා දීමයි. Office 2013 ලෙසින් එළි දැක්වෙන මෙය මාර්තු මස දී ජංගම දුරකතන සඳහා නිකුත් කෙරෙන බව Microsoft සමාගමේ නිශ්පාදන පිළිබඳ කළමනාකරු පීටර් බොබෙක් පවසනවා. තව දුරටත් පරිගණක සඳහා ව්‍යාපාරික කටයුතු වෙනුවෙන් නිකුත් කරනා අනුවාදය එම වසරේ ම දෙසැම්බරයේත්, සාමාන්‍ය පරිගණක පරිශීලකයින් වෙනුවෙන් වන අදාළ අනුවාදය පෙබරවාරි අගදීත් Microsoft ආයතනය විසින් නිකුත් කිරීමට නියමිත බව පවසා ඇත.

දැනට Android සඳහා මෙවක් ලියකියවිලි භාවිතය සඳහා ඇති මෘදුකාංග වන්නේ Kngsoft Office පැකේජය, Polaris Office පැකේජය වැනි ඒවායි. නමුත් පරිගණකයේ MS Office මෘදුකාංගය හරහා වසර ගණනක් තිස්සේ ලද අත්දැකීම ඒ කිසිදු වෙනත් මෘදුකාංග වලින් ලැබීමට තිබූ අපහසුව Microsoft ආයතනයෙන් ලබන වසරේ මුදා හැරෙන Office 2013 පැකේජය මගින් Android සහ iOS මෙහෙයුම් පද්ධති උඩ දී මගහැරෙනු ඇත.


Samsung Nexus 10 ලබන වසරේ මුල් භාගයේදී

පසුගිය කාලයේ පැතිර ගිය තොරතුරක් ඔස්සේ සුපිරි මට්ටමේ Nexus 10 ටැබ්ලට් පරිගණකයක් මේ වසරේ අග දී එළඹෙන නත්තල් නිවාඩුවේදී ඔබ ලබන්නට සිටියා නම් එම බලාපොරොත්තුව මඳකට කල් දමා ගන්නට සිදුවන පුවතකුයි මේ. Nexus 10 පිළිබඳව පුවතක් එළි දැක්වූ පුද්ගලයා වන CNET හි බෲක් ක්‍රොදර්ස් නැමැත්තා විසින්ම මේ පුවතට තවත් කරුණු එක් කරමින් පවසා ඇත්තේ මෙම ටැබ්ලට් පරිගණකය ලබන වසරේ මුල භාගයේදී බලාපොරොත්තු විය හැකි බවයි. 

මේ ප්‍රමාදයට හේතුව කවරක් දැයි තවමත් පැහැදිලි වී නැත. එනමුත් මෙය මීලඟ පරම්පරාවේ තිරයක් සහ ප්‍රොසෙසරයක් අඩංගු වන්නක් වීමේ ප්‍රවණතාවක් පවතී. මෙම Nexus 10 ටැබ්ලට් පරිගණකය පික්සල් 2,560 x 1,600 ප්‍රමාණයක් සහිත තිරයක් අන්තර්ගත Samsung සමාගමේ Exynos 5 (ARM Cortex-A15) වර්ගයේ ප්‍රොසෙසරයක් ද අඩංගු වන්නක්. මේ ද්විත්වයම මේ වසරේ මුල සිටම ආඩම්බරකාර හැසිරීමකට හිමිකම් ලද උපාංග ද්විත්වයකි. නමුත් මේවා Samsung සමාගම විසින් විශාල වශයෙන් නිපැයීමේ දී ගැටළු වලට මුහුණ පෑවා විය හැකිය. 

කෙසේ නමුත් නවමු ප්‍රවේෂයක් ලබනා මැදි පරාසයක Nexus ටැබ්ලට් පෙළක්ම තිබීමත් සතුටුදායක කරුණක්. නමුත් මේ සඳහා ලබන වසරේ මුල වන තෙක් iPad සඳහා තරඟ වැදීමට අඟල් 10ක ටැබ්ලට් පරිගණකයක් පැමිණෙන තුරු බලා හිඳීමට සිදු වනු ඇත.

Thursday, October 11, 2012

හිත හොඳ Nexus ටත් Apple ගෙන් පහරක්

මෙය වාර්තා වන්නේ Samsung සමාගමේ Google Galaxy Nexus ජංගම දුරකතනයට මෑතකදී මුහුණ පාන්නට සිදු වූ අකරතැබ්බයක් පිළිබඳවයි. එනම් අප කවුරුත් දන්නා Android හි කරට කර සිටීමට උත්සාහ දරනා Apple සමාගම මගින් මෙම දුරකතනය කෙරෙහි ද ඇමරිකානු අභියාචනාධිකරණයක් හරහා තහනම් නියෝගයක් නිකුත් කර තිබීමයි. එනම් වෙනයම් කරුණක් නිසා නොව Apple සමාගමේ 604 නම් වන පේටන්ට් බලපත්‍රය සම්බන්ධවයි. 


මේ පේටන්ට් බලපතට අනුව එහි සඳහන් වන්නේ ජංගම උපකරණයක් සතුව පවතින සාර්වත්‍ර සෙවුම් හැකියාව පිළිබඳව මුල් අයිතිය ඔවුන් සතුව ඇති බවයි. පේටන්ට් බලපත්‍රයක් ලබා ගැනීමේ අරමුණ වන්නේ ද තම නිර්මාණයක් කෙරෙහි අයිතිය නීත්‍යානුකූලව ලබා ගැනීම සහ එහි නිර්මාණ අයිතිය ද තමා සතු කර ගැනීමයි. මෙවර දී Apple සමාගම මේ පිළිබඳව චෝදනාව ඉදිරිපත් කරන්නේ Galaxy Nexus දුරකතන‍යටයි. Apple සමාගම පවසන ආකාරයට මෙය Nexus හි භාවිතා කිරීම, තමන්ගේ උපකරණ අලෙවියට පාඩුවක් හා හානියක් සිදු කරනා බවයි. මේ අතර Samsung සමාගම පවසනුයේ මෙම අංගය දුරකතනයට අත්‍යාවශ්‍යයෙන් ම පැවතිය යුතු දෙයක් නොවන බවයි. තව දුරටත් ඔවුන් පවසන්නේ Galaxy Nexus යනු බෙහෙවින් අලෙවිය අඩු දුරකතනයක් බැවින් Apple සමාගම පවසනා අයුරින් ඔවුනගේ අලෙවියට බාධා මෙයින් ඇති විය නොහැකි බවයි. 

කෙසේ නමුත් අධිකරණය පවසනුයේ Apple සමාගමේ මෙම පේටන්ට් අයිතීන්, Samsung සමාගම විසින් උල්ලංඝණය කිරීම තුලින්, Apple සමාගමේ අලෙවියට බාධා ඇති වන බවට නියමාකාර සාක්ෂි Samsung සමාගමට එරෙහිව Apple සමාගම ගොනු කිරීමට අපොහොසත් වී ඇති බවයි. අන් අයුරකින් පවසන්නේ නම් Nexus පරිශීලකයන් එම දුරකතන‍ය මිලදී ගන්නේ මෙම සෙවුම් හැකියාව උදෙසා ම නොවන බවයි.

කීර්තිය සහ අලෙවිකරණය පිළිබඳව සැලකිළිමත් වන්නේ නම් මෙම Apple ආධිපත්‍යයට වෙනසක් කළ හැකි වේවි ද? කෙසේ නමුත් මෙම අධිකරණ තීන්දුව Samsung සහ Apple සමාගම් ද්විත්වය අතර පවතින ගින්නට එකතු වන තවත් පිදුරු ගොඩක් මෙන් වනු ඇත.


Nexus 2 සිහිනය බොඳ වී Galaxy Premier මතු වේ

Android සහ Nexus ලෝලීන් සැම මහත් බලාපොරොත්තුවෙන් සිටි Samsung සමාගමේ මීළඟ Nexus දුරකතනය ලෙසින් කටකතා පැතිර තිබූ GT-i9260 මාදිලි අංකය සහිත ජංගම දුරකතනය, Nexus දුරකතන පෙළේ මීළඟ හවුල් කාරයා නොවන බව දැන් වාර්තා වෙනවා. එය Samsung සමාගම විසින් Galaxy Premier නමින් හඳුන්වන්නට යෙදෙන බවත් ලැබෙනා ආරංචි මාර්ග ඔස්සේ තහවුරු වේ. මෙය ද තවත් එක් නිල නොලත් ආරංචියක් වන අතර Samsung සමාගම මෙය පිළිබඳව තවමත් කිසිවක් සඳහන් කර නොමැත. එම මාදිලි අංකයට අදාල ජංගම දුරකතනය Neus දුරකතනයක් විය හැකි බවට කට කතා මතු වූයේ එය දැනට පවතින Galaxy Nexus දුරකතනයේ ම වැඩි දියුණු කරන ලද අංගෝපාංග පිළිබඳව සඳහන් දත්ත ලැයිස්තුවක් පිට වී තිබීමයි.


වැඩි දුරටත් මතක් කරනවා නම් අදාල මාදිලි අංකය සහිත දුරකතනය නොහොත් Galaxy Premier සතුව අඟල් 4.65 ක HD Super AMOLED තිරයක්, 1.5GHz Dual Core ප්‍රොසෙසරයක්, මෙගා පික්සල් 8ක් වූ ප්‍රධාන කැමරාවක්, මෙගා පික්සල් 2ක් වූ ද්විතීයික ඉදිරිපස කැමරාවක්, Micro SD කාඩ් දැමීමේ හැකියාව, ගිගා බයිට් 1ක් වූ RAM ධාරිතාවක්, ගිගා බයිට් 16ක් වූ අභ්‍යන්තර ඉඩක් ද ඇති අතර Android 4.1.1 Jelly Bean මත ක්‍රියා කරන 'TouchWiz' අතුරු මුහුණත සහිතව පැමිණෙනු ඇත. මෙහි මිල දැනට යුරෝ 500ක් පමණ වනු ඇතැයි වැඩි දුරටත් ආරංචි මාර්ග පවසයි.

කෙසේ නමුත් Samsung සමාගම විසින් නවතම Nexus දුරකතනයක් මෙවර නිපදවතියි තිබූ බලාපොරොත්තුව මේ ආරංචිය සහ පිටවී ඇති ඡායාරූප මගින් බොඳවී ගිය ද Android ලෝකයට තවත් Smart ජංගම දුරකතනයක් ඉදිරියේදී දායාද වනු ඇත.


Wednesday, October 10, 2012

HTC 5" phablet එක DLX නමින් ඒවිද?

HTC6435LVW මොඩලයට අයත් ජංගම දුරකතනයක් ගැන HTC සමාගම හා සම්බන්ධ නිපැයුම් ආශ්‍රිත කටකතා ඔස්සේ වාර්තා වෙනවා. තවමත් මෙය සත්‍ය වශයෙන්ම නිපදවී ඇත්තක් ද යන්න සැක සහිත මට්ටමක පවතින්නක්. 


මෙහි LTE, WCDMA, GSM, CDMA2000 ජාල වලට සම්බන්ධ වීමේ හැකියාව ඇති අතර, එම හේතුවෙන් මෙය මුළු ලෝකයටම වෙන් වූ උපකරණයක් ලෙසින් ද හඳුන්වා දිය හැකිය. තවමත් HTC සමාගම විසින් මෙහි එළි දැක්වීමක් පිළිබඳව වාර්තා වන්නේ නැත. ඉහත කී අංකය දරණ මෙම ජංගම දුරකතනය බොහෝ විට අන්තර්ජාලයෙන් දැන ගැනීමට ලැබෙන තොරතුරු අනුව HTC DLX නොහොත් DELUX නම් විය හැකි බව ද ඒවායේ සඳහන් වේ. මෙහි ධාවනය වනු ඇත්තේ යැයි වාර්තා වන්නේ Android 4.1.2 සංස්කරණයයි.

HTC සමාගම විසින් නිපදවෙතැයි කලින් ලිපියකදී සඳහන් කළ Nexus 5 සුපිරි ජංගම දුරකතනයේ තිබෙතැයි කියූ අංගෝපාංග එලෙසින්ම මෙහි ද පැවතීම තවත් විශේෂ කරුණක්. බොහෝ විට මේ එම දුරකතනයම විය හැකියි. එනම් අඟල් 5ක 1080p HD තත්ත්වයේ තිරයකින් ද, 1.5GHz Quad Core Snapdragon S4 ප්‍රොසෙසරයකින් ද, ගිගා බයිට් 1.5ක් වූ RAM ධාරිතාවකින් ද, ගිගා බයිට් 16ක් වූ අභ්‍යන්තර ගබඩා ධාරිතාවකින් ද, මෙගා පික්සල් 12 කින් යුතු ප්‍රධාන කැමරාවකින් සහ මෙගා පික්සල් 2 කින් යුතු ඉදිරිපස කැමරාවකින් ද සමන්විත මෙයට බලය සපයන්නේ මෙතෙක් HTC සමාගම නිපදවා නොමැති ඉහලම බැටරි බලයක් සහිත 2,500 mAh වන බැටරියකිනි.

කටකතා ලෝකයේ මේ ශීඝ්‍රයෙන් පැතිර යන තොරතුරු, ජංගම දුරකතන සහ උපාංග පරිශීලකයන්ගේ කුතුහලය වැඩි කිරීමට බෙහෙවින් සමත් වනවා මෙන්ම, මේ දිනවල පවතින ශීඝ්‍ර දුරකතන එළි දැක්වීම් සමගම මේ කටකතා එකින් එක සත්‍ය වනු ඇතැයි Android ලෝලීන් වශයෙන් බලාපොරොත්තු වීමද වරදක් නොවනු ඇත.


Nexus 7 වලට Android 4.1.2 ලැබෙයි

Google සමාගම නිහඬවම Jelly Bean සඳහා Android 4.1.2 වන නව අනුවාදයක් මුදා හැර තිබෙනවා. මෙම අනුවාදය දැනට ලොව පුරා ඇති Nexus 7 ටැබ්ලට් පරිගණක සඳහා ග්‍රහණය කර ගැනීම සඳහා මුදා හැර තිබෙතත් වැඩි කල් නොගොස් Galaxy Nexus, Nexus S සහ Motorola XOOM සඳහා ද ලැබෙනු ඇති.

මෙම යාවත්කාලීන වීමත් සමග Android 4.1.2 මගින් Jelly Bean සතුව තිබූ යම් දෝශ කිහිපයක් නිවැරදි කර තිබෙන අතර ක්‍රියාකාරීත්වයේ වැඩි දියුණුවක් ද සිදු කර තිබෙනවා. Nexus 7 ටැබ්ලට් පරිශීලනය කල බොහෝ අයට සතුටුදායක යාවත්කාලීනයක් ලෙස මෙය හැඳින්විය හැක. මන්දයත් පෙර Nexus 7 හි lock අවස්ථාවේ තිරයත් අනෙක් ප්‍රධාන තිරයනුත් ටැබ්ලටය හරස් අතට හැරවූ විට තිරයේ දිස්වන දෑ හරස් අතට නොහැරවීමේ නොහැකියාව මෙහි දී නැති කර තිබෙනවා.

මීට අමතරව Google සමාගම මේ මෙගා බයිටි 31.3 ක විශාලත්වයකින් යුතුව "JZO54K" නැමැති නිමැවුම් අංකයක් ද සහිත යාවත්කාලීනය පිළිබඳව වැඩි දුර විස්තර සපයා නොමැත.

Tuesday, October 9, 2012

LG සමාගම Nexus නිපදවයි

තව දුරටත් නව Nexus දුරකතන පිළිබඳව කට කතා නොපතුරවමින් LG සමාගම ප්‍රථම වරට සිව් වන පරම්පරාවට අයත් Nexus දුරකතනයක් නිෂ්පාදනය කර තිබෙන බවට අන්තර්ජාලයේ Android සම්බන්ධ වෙබ් අඩවි කිහිපයක මේ වන විට පල වී ඇති LG Nexus දුරකතනයේ ඡායාරූප මගින් ඔප්පු වී හමාරය. 

ඡායාරූප වලට අනුව මෙය දැනට පවතින LG Optimus G සහ Samsung Galaxy Nexus දුරකතන වලට බෙහෙවින් සමාන හැඩහුරුකමක් දක්වයි. මෙහි දැනට Android 4.1.2 ධාවනය වන අතර එහි පිටත ආවරණය Galaxy Nexus හි පසුපස ආවරණයට සමාන නමුත් වෙනස් ම ආකාරයකින් නිම කර ඇත. එය මත ලියැවී ඇති "NOT FOR SALE HW REV 1.0" යනුවෙන් ලියැවී තිබීමත් එතරම් සුභාරංචියක් නොවන්නේ මෙය හුදෙක් LG සමාගම මූලාකෘති Nexus දුරකතනයක් ලෙසින් නිම කර ඇත්තක් විය හැකි බවට සැක පහළ වී ඇති හෙයිනි.

මෙහි පිටුපස ඇති FCC ID අනුව කළ සොයා බැලීම් වලදී දැන ගන්නට ලැබී ඇත්තේ එහි පසුපස ආවරණය ගැලවිය නොහැකි බවත්, සාමාන්‍ය ආරෝපණය කළ හැකි විවරයක් ද සහිතවත්, එලෙස පවතිනවාට අමතරව මෙම දුරකතනය රැහැන් රහිත ක්‍රමයක් මගින් ආරෝපණය කළ හැකි පහසුකමද සහිත දුරකතනයක් බවයි. HSPA සහිත මෙය තුන් ආකාරයක තරංග ලෙස 850MHz, 1700MHz සහ 1900MHz ග්‍රහණය කර ගැනීමට සමත් වූවක් වුවත් LTE සබඳතාව නොමැත්තක්.

තවද 1.5GHz Quad Core Snapdragon S4 ප්‍රොසෙසරයකින් ජවය සපයන, අඟල් 4.7 ක IPS තිරයකින් යුතු, වීදුරු වැනි පසුපස ආවරණයක් ද සහිත මෙහි SD කාඩ් මගින් අභ්‍යන්තර මතක ධාරිතාව ඉහළ නංවාලීමට Micro SD කාඩ් ඇතුලත් කළ හැකි විවරයක් නොවීම කණගාටුවට කරුණක්. නමුත් වාර්තා වන අන්දමට එය Google සමාගමේ Nexus දුරකතන වල දැකිය හැකි ලක්ෂණයකි. 

මෙය සම්බන්ධ තවත් තොරතුරු රැසක් සහ අනෙකුත් ආයතන වල Nexus නිර්මාණ පිළිබඳවත් ඉදිරියේදී දැන ගැනීමට ලැබෙනා තෙක් බොහෝ Android ප්‍රශීලකයන් නොඉවසිල්ලෙන් බලා හිඳී.