දන්න කියන දෙයක් හැමෝටම දැනගන්න කියලා ලියන මේ බ්ලොග් පිටුවට ඔයාලව ආදරයෙන් පිළි ගන්නවා. ඉගෙන ගන්න පුළුවන් දේවල් කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ආපු වෙලාවක කොමෙන්ට් එකක් දාන්නත්, පාඨකයෙක් විදියට ෆොලෝ කරන්නත් පුළුවන් නම් වටිනවා.

Thursday, May 20, 2010

PHP කරා යමු - 8 (HTML)

හෙඩිං පාවිච්චි කරන හැටිත් ඔන්න දැන් දැන ගත්තා ඔයාල. තමන්ට කැමති විදියකින් මොනවා හරි ලියලා බලලා මේ ටැග් කීපය එහෙට මෙහෙට කොරලා හදා ගන්න එක ඔයාලගේ අතෙයි තියෙන්නෙ. හ්ම්ම්...

හරි මම කිවුවා නේද හෙඩිං (heading) ටැග් වල ස්වරූපය වෙනත් ටැග් කීපයක් උපයෝගී කර ගෙන කර ගන්න පුළුවන් කියලා. අපි දැන් බලන්න යන්නේ ඒ මොන ටැග්ද කියලා. පිළිවෙළට කියාගෙන ගියොත්, "b, i, strong, font" කියන ටැග් තමයි ඔය වැඩේ කරන්න විවිධ අවස්ථා වලදී උපකාර වෙන්නේ. සුපුරුදු විදියටම මේ ටැගුත් ද්විත්ව ටැග්. ඒ කීවෙ යුගල ටැග්. පටන් අරගෙන ඊට පස්සේ මොනා හරි ලියලා වහල දාන්න ඕනෙ. සමහර වෙලාවට නෝට්පෑඩ් වගේ පහසුකම් අඩු සොෆ්ට්වෙයා එකකදි නම් ආරම්භ කරන ටැග් වහන්න ගොඩක් දෙනාට අමතක වෙනවා. ඒකට කරන්න තියෙන හොඳම වැඩේ තමයි, ආරම්භ කල සැනින්ම ටැග් එක වහලා දාන එක. ඉන් පස්සේ ඒ ටැග් යුගල අතරේ තමන් කැමති දේ ලියන එක. මෙහෙම කරද්දී කිසිම ටැග් එකක් අතර මැද්දෙන් නොවැහී ගිහින් අමතක වෙලා යන්නේ නෑ. අත්දැකීමෙන්මයි කියන්නේ. Adobe Dreamweaver වගේ මෘදුකාංගයකදී නම් මේ වැඩේ ලේසියෙන්ම කර ගන්න පුළුවන් යතුරු පුවරුවේ එක යතුරක් එබීමෙන්ම. අනික, නෝට්පෑඩ් වලදි අපි ලියන කේත කාට හරි කියවන්න, බලන්න පුළුවන්, ලේසි විදියකට, පිළිවෙලට හැඩ ගස්සවා ගන්නත් අමාරුයි නේ. ඔය දේවල් Adobe Dreamweaver වලින් ලස්සනට කර ගන්න පුළුවන්. ඒකෙන් වෙබ් පිටුවට නම් බලපෑමක් වෙන්නෙ නෑ. හැබැයි කියවද්දි වගේම වැරදි හොයද්දී, HTML ටැග් අඩුපාඩු හොයද්දී ලේසි වෙනවා අපිට.

හරි. කලින් කීව ටැග් ලැයිස්තුව ගැන අපි දැන් හොයලා බලමු කොහොමද වැඩ කරන්නේ කියලා. මුලින්ම "b" ටැග් එක. "b" කියන්නේ බෝල්ඩ් (bold). නැත්තම් තද අකුරු කියන එකයි. අකුරක් බෝල්ඩ් කරනවා කියන්නේ තද කරලා, මහත වැඩි කරලා ලියන එකට කියලා Microsoft Word වගේ මෘදුකාංග පාවිච්චි කරන හැමෝම දන්නවා නේ? ඔය දේම කර ගන්න පුළුවන් තවත් ටැග් එකක් තමා "strong" කියන්නේ. මේකෙ අදහස ශක්තිමත් කියන එකම නෙවෙයි. හොඳට ඇහැට කනට පේන විදියට තිබීම වගේ අදහසක්, නැත්තම් බැලූ බැල්මට ඇහැට ලොකුවට තදට පේන වගේ අදහසකුයි මේ ටැග් එකෙන් දෙන්නේ. "b" හා "strong" ටැග් දෙකෙන්ම සිද්ධ වෙන්නේ එකම දේ. ඒ මොකටද දෙකක්? එකක් තිබුණ නම් හොඳයි නෙ?

ඒකට හේතුව මේකයි. "b" කියන ටැග් එක දැන් ගොඩාක් වයසයි. ඒ මොකද වෙබ් පිටු ආරම්භ වුණු කාලෙ ඉඳලම බෝල්ඩ් කරන්න තියෙන්නේ ඒ ටැග් එක. ඉතින් ඔය වගේ නාකි ටැග් පාවිච්චිය අඩු කරන්නේ අපේ වෙබ් බ්‍රවුසර හදන ආයතනමයි. එයාල තීරණය කරනවා දැන් ඔය පරණ තාලෙ ටැග් ඕනෙ නෑ අපි අලුත් ටැග් එකක් ඕකට හඳුන්වලා දෙමුය කියලා. ඔන්න ඔය නිසා මුළු ලෝකෙම පිළිගත් සම්මුතියකට එළඹිලා ඔහොම HTML ටැග් එකක් එලියට දානවා. ඒකට කියන්නේ "W3C" කියලා. එහෙමත් නැත්තම් World Wide Web Consortium නොහොත් "ලෝක ව්‍යාප්ත වෙබ් සම්මුතිය" විදියට දිග හැරලා කියන්නත් පුළුවන්. "b" වගේ ටැග් හඳුන්වන්නේ "deprecated" නොහොත් යල් පැනපු ටැග් හැටියටයි. ඒවා සමහරක් බ්‍රවුසර වල නිවැරදි ආකාරයෙන් වැඩ නොකලොත්, ඒකට හේතුව ඒ බ්‍රවුසරය අර ටැග් එක යල් පැන්න එකක් කියලා හිතලා දත්ත නොකවා තිබීමයි. නමුත් අදටත් ගොඩාක් ප්‍රසිද්ධ බ්‍රවුසර වල නවමු සංස්කරණයන් වල පවා මේ ටැග් පිළිබඳ විස්තර කවලා තියෙනවා ඒ ඒ බ්‍රවුසර අභ්‍යන්තරයේ.

මේ ටැග් වර්ග දෙකම පාවිච්චි කරන්නේ කලින් වගේමයි. බෝල්ඩ් ටැග් එක "<b>..</b>" වගේම අනික "<strong>..</strong>" කියලා. ඔයාලාත් අලුතින් නෝට්පෑඩ් පිටුවක් අරන් මුල ඉඳන් HTML ටැග් ටික ලියන් ඇවිත් "body" ටැග් යුගලෙ ඇතුලේ මේවා ලියලා බලන්නකෝ මොනාද වෙන්නේ කියලා. හැබැයි මේවා නම් ලිව්වාට පස්සේ අලුත් රූලක් පහලට යන්නේ නෑ. එක දිගට ලියාගෙන යන පරිච්ඡේදයක පවා අතර මැද වචන, අකුරු, පේලි වලට රූල් පැනීමකින් තොරව මේ අකුරු තද කරලා පෙන්නන මෝස්තරය යොදා ගන්න පුළුවන්.

1 comments:

Kasun Nadeeshana said...

මාත් php ඉගෙන ගන්න පොඩ්ඩක් උනන්දුයි. දිගටම ලියන්න

Post a Comment