දන්න කියන දෙයක් හැමෝටම දැනගන්න කියලා ලියන මේ බ්ලොග් පිටුවට ඔයාලව ආදරයෙන් පිළි ගන්නවා. ඉගෙන ගන්න පුළුවන් දේවල් කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ආපු වෙලාවක කොමෙන්ට් එකක් දාන්නත්, පාඨකයෙක් විදියට ෆොලෝ කරන්නත් පුළුවන් නම් වටිනවා.

Friday, May 14, 2010

PHP කරා යමු - 2 (HTML)

අම්මා කතා කරා. ඒ නිසා පට ගාල ගොහින් බලලා ආවා මොකද කියල. හරි... අපි ආයෙත් නතර කරපු තැනින් මතක් කර ගමුකෝ වැඩේ ගැන. මෙහෙමයි. HTML කියන්නේ මහා ලොකු විජ්ජාවක්වත් අමාරු දෙයක්වත් නෙවෙයි. හරියටම කියනවා නම් building blocks (බිල්ඩින් බ්ලොක්) ටික තමයි මේ HTML වලත් ස්වරූපය. HTML නැත්තන් අන්තර්ජාලයේ ගන්න තියෙන කිසි වැඩක් අද කර ගන්න ලැබෙන්නේ නැහැ. ඒක අර නිකන් උණු නිසා බොන්නත් බැරි රස නිසා අහක දාන්නත් බැරි ගාණට තියෙයි. මගේ උපහැරණේ හරිද මන්දා. සිංහල වැරදි නම් ඔයාල හදන්න හොඳේ. නැත්තම් වස ලැජ්ජාව. මාත් එක්කම ඉගෙන ගත්තු නිසා මගේ යාළුවාටත් ඕව බෑ වැඩිය. මේ දේ නොතිබුණා නම්, ලස්සනට දකින වෙබ් පිටු නිකන්ම නිකන් පුස්සක් වගේ අකුරු ටිකකින් විතරක් සීමා වෙන්න තිබුණා. ඒත් අන්තර්ජාලයේ දියුණුවත් එක්කම වෙබ් පිටු නැතිවත් වැඩ කර ගන්න පුළුවන් බවත් මතක තියා ගන්න ඕනි. අපි ඒ ගැන මේ ගමන යන අතරතුරේදී කතා කරමුකෝ. HTML වලින් කරන්නේ ප්‍රධාන වශයෙන්ම වෙබ් පිටුවක හැඩේ හදන එක. ම්ම්... තේරුන් නෑ නේද...? මෙහෙම කීවොත් හරි. වෙබ් පිටුවක් මොන විදියෙන්ද ඔයාලගේ කොම්පියුටර් තිරයේ පෙන්නන්න ඕනෙ කියලා කියන්න තියෙන එකම විදිය තමයි HTML කියන්නේ...

අම්මෝ..! තව පොඩ්ඩෙන් අමතක වෙනවා වටිනම දේ. HTML කියල කියන්නේ නිකන්ම නිකන් අකුරු 4ක් කියල කීවට ඒකෙ තේරුම කියන්න අමතක වුනා නෙව. HTML කියන අකුරු හතරේ වචන 4 කුත් සැඟවිලා තියෙනවා "Hyper Text Markup Language" (හයිපර් ටෙක්ස්ට් මර්ක්-අප් ලැන්වේජ්) කියන එකයි මේකෙ ඉන්ග්‍රීසි තේරුම. මේ ඉංග්‍රීසි වචන හතරේ මුල් අකුරු 4 එකතු කරලා තමයි HTML කියන නම යොදලා තියෙන්නේ. සමහර විට ඔයාල මේ අකුරු 4 ඕනෙ තරම් අන්තර්ජාලෙදි දැකලා ඇති. ලොකු අකුරින් තියෙද්දි වගේම පොඩි අකුරෙනුත්. මින් 4 වෙනි අකුරින් කියවෙනවා language කියලා. ඒ කියන්නේ ක්‍රමලේඛ බාසාවක් වගේ හැඟීමක් එනවා නේද? ඔව්. මාත් මුලින්ම ඉගෙන ගනිද්දි තේරුම් ගියේ programming language එකක් කියලා තමයි. ඒකෙ වැරැද්දක් නෑ. ඒත් භාවිතා වෙන්නෙ ඒ තේරුමෙන් නෙවෙයි. ඇත්තෙන්ම මේක එහෙම විශේෂ අන්තර්ජාලෙටම අදාල programming language එකක් නෙවෙයි. නිකමට හිතන්න ඔයාල පාවිච්චි කරන බ්‍රවුසරයක් ගැන? ඔයාල මොකද්ද පාවිච්චි කරන්නේ? Internet Explorer ද? නැත්තම් Mozilla Firefox ද? මේ තමයි දැනට ලෝකේ තියෙන ප්‍රසිද්ධම වෙබ් බ්‍රවුසර වලින් කීපයක්. හිතන්න මේ බ්‍රවුසර නොතිබුණා නම් අන්තර්ජාලයේ අපි කොහොම සැරිසරයිද? දැන් හරි ප්‍රසිද්ධ Facebook (FB) මුහුණු පොතේ එහෙම යාළුවෝ එක්ක කොහොම සම්බන්ධවෙයිද? ඒ හැම දෙයකටම අන්තිමට සහභාගි වෙන හිතවතා තමයි HTML මිත්‍රයා.

මේ HTML කරන වැඩ ටික අඳුර ගන්න වෙබ් බ්‍රවුසරයට තේරුමක් තියෙන්න එපැයි... ඒ නිසා HTML වල තියෙනවා වෙනම ඒකටම අදාල කේත ක්‍රමයක්... ම්ම්... මං හිතුව හරි... ඔන්න අහ ගන්න සිංහලෙන් කීවොත් coding standard එකක්.හැබැයි හරිම අහින්සක විදියට වැඩ කරන්නෙ. ඒ වගේම සමහර ලොකූ වෙබ් පිටු වලදි නම් අත පසු වීමක් වුනොත් මුළු වෙබ් පිටුවම විකාරයක් වෙලා පෙන්නන්නත් තිබුණා. ඔයාල නිකමට අධ්‍යයනය කරල තියේද වෙබ් පිටුවක් වෙබ් බ්‍රවුසරේට එන හැටි ටිකෙන් ටික අන්තර්ජාලෙ ඉඳන්? මුලින්ම කැතට අවිල්ල ටිකෙන් ටික හරි ගැහි ගැහි "සතෙන් සතේ රුපියලෙන් රුපියලෙ එකතු කරල එකතු කරල..." ඇඩ් එකේ වගේ අන්තිමට ලස්සන වෙබ් පිටුවක් එනවා? අර මන් කලින් කීව කේත අත හැරීමෙන් හරි මග හැරී යාමෙන් හරි සිද්ධ වෙන විකාර රූපී වෙබ් පිටුවක් තමයි ඔයාල වෙබ් පිටුවක් තිරයට එද්දිත් මුලින්ම වෙනවා වගේ පෙනෙන්නේත්. පස්සේ ඔක්කොම ආවට පස්සේ තමයි හැඩට පෙනෙන්නේ. මෙහෙම කීවම යමක් තේරෙනවා නේද?

මුලින් කොටසක් විතරක් එද්දි කැත වෙලාත්, පස්සේ ඔක්කොම ආවම ලස්සනටත් පෙන්නන්න හේතුවක් තියෙනවා නේද? හ්ම්ම්... මේ ගැන නම් හොයලා බලන්න වටිනවා... ඒ ගැන කියන්න කලින් මම පොඩි හුස්මක් අරන් එන්නම්. තාම වැස්ස ඉවරත් නැහැ. අකුණු ගහන සද්දේ ඇහෙද්දි මේ ලැප්ටොප් එක ඔන් කරන් ඉන්නත් බයේ බෑ. අකුණක් එහෙම ගැහුවොත් මේ ළමයි ටිකට උගන්නන්නේ කවුද නේද?... හ්ම්ම්....

1 comments:

dumasrc said...

godak watina lipi pelak thanks machan

Post a Comment